ඕස්ටේ‍්‍රලියා අගමැතිට දොස්



ඕස්ටේ‍්‍රලියාවේ ළැව්ගිනි ඉහවහා යෑම සම්බන්ධයෙන් එරට අගමැති ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වී ඇත.

ඒ, සැප්තැම්බරයේ සිට පැතිරෙන ළැව් ගිනි නිවා දැමීමට හෝ පාලනය කිරීමට හෝ නිසි ක‍්‍රමවේදයක් සකස් කිරීමට ඔහුත් ඔහුගේ රජයත් අපොහොසත් වූ නිසාය.

ළැව් ගිනි හේතුවෙන් මියගිය  ඕස්ටේ‍්‍රලියානුවන් ගණන 28 ක් වන අතර, ළැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති නිවාස ගණන 2,000 කි. ඊට අමතරව හෙක්ටයාර් මිලියන 11 ක් විනාශ වී ඇති බවත් පැවැසෙයි.

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ආයතන විසින් සිදු කරනු ලැබූ ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ගේ ජනපි‍්‍රයත්වය ශීඝ‍්‍රයෙන් පහළ වැටී ඇති බවය. අගමැති මොරිසන්ගේ ජනපි‍්‍රයත්වය අඩුවෙද්දී, විපක්ෂය වන කම්කරු පක්ෂයේ ඇන්තනි ඇල්බේන්ස්ගේ ජනපි‍්‍රයත්වය ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

අගමැති ස්කොට් මොරිසන්, ළැව් ගිනි හේතුවෙන් විපතට පත්වුණු වැසියන් හමුවීමට ගිය අවස්ථාවේ බොහෝ දෙනකු අගමැතිවරයාට බණිමින් අප‍්‍රසාදය පළ කළ අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්වන බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS