එෆ් 16 යානා යොදා ගත්තාදැයි පරීක්ෂණ



පාකිස්තාන ගුවන් හමුදාව, පසුගිය 27 වැනිදා, ඉන්දීය ගුවන් හමුදාවේ මිග් ප්‍රහාරක යානා වටකරමින් පහර දුන්නේ, තලේබාන් සහ අල් කයිඩා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පහරදීමට, තමන් පාකිස්තාන හමුදාවට ලබා දුන් එෆ් 16 ප්‍රහාරක යානා යොදා ගෙනදැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව ඇමෙරිකාව කියයි.

ඇමෙරිකාව එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා පාකිස්තාන ගුවන් හමුදාවට ලබා දී, එම යානා පියාසර කිරීමට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවන් පුහුණු කරනු ලැබ ඇත.

ඒ, ඇෆ්ගන් සංග්‍රාමයේදී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සහ අල් කයිඩා ත්‍රස්තවාදීන්ට පහර දීමටය. ඇෆ්ගන් සංග්‍රාමයේ දී, ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේදී, ඇමෙරිකාවේ සගයා වූයේ පාකිස්තානයයි.

ඉන්දීය ගුයන් හමුදාව චෝදනා කර ඇත්තේ ඉන්දු පාකිස්තාන දේශසීමාවට ඉහළින් උඩු ගුවනේදී, තම ප්‍රහාරක මිග් යානා ඉලක්ක කර ගනිමින් පාකිස්ත ගුවන් හමුදාව පහර දුන්නේ එෆ් 16 යානා යොදා ගනිමින් බවය. ඉන්දියාව මේ බව ඇමෙරිකාවට දන්වා ඇත.

ඇමෙරිකාව පවසා ඇත්තේ, පාකිස්තානය තමන් ලබා දුන් එෆ් 16 යානා ඉන්දීය ගුවන් හමුදාවට පහර දීමට යොදා ගෙන ඇති නම් එය වරදක් බවත්, ඒ බව තහවුරු වුවහොත් පාකිස්තානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන්ට සිදුවනු ඇති බවත්ය.

ඉන්දියානු ප්‍රහාරක යානා ගුවන් නියමු අභිනන්දන් වර්තමාන්, පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ, ඉන්දීය ගුවන් හමුදාවට එල්ල වුණු එම ප්‍රහාරයෙන් පසුවය. සාමය වෙනුවෙන් හොඳ හිත ප්‍රාර්ථනා කිරීමක් ලෙස, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මැදිහත් වී, පසුගිය පළමු වැනිදා අභිනන්දන් වර්තමාන් නිදහස් කර ඉන්දියාවට බාර දීම සිදු විය.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS