එළියට ගැනීම පහසු නෑ



තායිලන්තයේ චියැංග් රායි පළාතේ, වනගත ප්‍රදේශයක පිහිටි ‘තම්ග් ලුඅන්ග් නමැති ලෙන තුළ සිරවී සිටින යොවුන් පා පන්දු කණ්ඩායමට අයත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදාගැනීම විශාල අභියෝගයක් බව පැවැසෙයි.

සිරවී සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ තායිලන්ත නේවි සීල් හමුදා භටයන්ගේ නායකත්වයෙනි.
ඔවුන්ගේ ඉල්ලීම මත බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව, චීනය, මියන්මාරට, ලාඕසය ආදී රටවලින් දිවි ගලවා ගැනීමේ නිලධාරීන්, විශේෂඥයන්, හමුදා නිලධාරීන් සහ සහන සේවකයන් දහසකට වැඩි පිරිසක් ද මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බව පැවැසෙයි.
 

යොවුන් පා පන්දු කණ්ඩායමේ මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන ගවේෂණයට ගියේ පසුගිය 23 වැනිදාය. මෝසම් වැසි ඇද හැලීමත්, ලෙන් පද්ධතිය ජලයෙන් පිරී යන්න පටන් ගත්තේය. දරුවන් සහ පුහුණුකරු ඇතුළේ කොටු වුණේ එම අවස්ථාවේදීය. පිරීයෑමත් සමඟ පිරිස ඇතුළත එක් කොටසක සිරවූහ. ඒ, ලෙන් පද්ධතියේ පිවිසුමේ කිලෝ මීටර් 6 ක් පමණ දුරින්, කිලෝ මීටරයක් පමණ ගැඹුරිනි.

ඒ අතර මැද ඇති පටු උමං මාර්ග සියල්ල අඩි 16 ක් ජලයෙන් යටවී ඇත. ආරම්භ වී ඇති මෝසම් වැසි අවසන් වීමට තව මාසයක් පමණ ගතවනු ඇති බව පැවැසෙයි. දිනෙන් දින වැසි ඇද හැලීමේ වේගය වැඩිවෙමින් පවතින අතර, දරුවන් සිටින ස්ථානය ද වැසි ජලයෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමික් ආරම්භ වුණු අතර, ලෙන තුළ  ජලය ඉසිමින් ඉවත් කිරීම ද නොකඩවා සිදු කෙරේ. කෙසේ නමුත් එය තවමත් සාර්ථක වී නැති බව පැවැසෙයි.

දින 9 කට පසු, බ්‍රිතාන්‍යයෙන් පැමිණි කිමිඳුම්කරුවන් දෙදෙනකු වන ජිල් වොලැන්තන් සහ රික් ස්ටැන්ටන් යන දෙදෙනාට දරුවන් පිරිස සොයා ගැනීමට හැකි වූයේ පසුගිය 2 වැනිදාය.

ස්ටැන්ටන් විශ්‍රාමික ගිනි නිවන භටයෙකි. ජිල් වොලැන්තන් පරිගණක විශේෂඥයෙකි. ලෙන් තුළ කිමිඳීම මොවුන්ගේ විනෝදාංශයක් වන අතර, ලෙන් තුළ කිමිඳීම සහ ලෙන් තුළ සිරවූවන්ගේ ජීවිත බේරීම සම්බන්ධයෙන් ලොව සිටින දක්ෂයන් දෙදෙනකු ලෙස මොවුන් දෙදෙනා සැලකෙයි. මොවුන් මෙම මෙහෙයුමට සම්බන්ධ වූයේ පසුගිය 28 වැනිදාය. ඒ, තායිලන්ත රජය කළ විශේෂ ආරාධනාවකට අනුවය.

දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමත් සමඟ ඔවුන්ට පැරසැටමෝල්, ඌරුමස් සමඟ බත්, පිරිසුදු පානීය ජලය සහ විදුලි පන්දම් ආදිය ජලය කාන්දු නොවන අයුරික් හොඳින් අසුරා කිමිඳුම්කරුවන් අතේ යැවීම සිදුවිය.

තායිලන්ත හමුදා වෛද්‍යවරු දෙදෙනෙක් ද දරුවන්ගේ සුවදුක් විමසා බැලීමට ඔවුන් සිටින තැනට ගියහ. දරුවන්ගේ තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි. කෙසේ නමුත් ඔවුන් බියට පත්ව සිටින බව වෛද්‍යවරු පසුව අනාවරණය කළහ.

දරුවන් බැලීමට ගිය හමුදා වෛද්‍යවරුන් දෙදෙනකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, පවසා ඇත්තේ දරුවන් බේරාගන්නා තුරු ඔවුන් දරුවන් සමඟ අඳුරු ගුහාවේ රැඳී සිටින බවය.

දරුවන් සිරවී සිටින තැන සොයා ගැනීමට සමත් වුවත්, ඔවුන් එළියට ගැනීම විශාල අභියෝගයක් වී ඇත. මුළු ලෙන් පද්ධතියම මේ වනවිට ජලයෙන් පිරී ගොස් ඇති අතර, කිමිඳුම්කරුවන් පිහිනා යන්නේ පටු විවර සහ මාර්ග ඔස්සේය.

කිමිඳුම්කරුවන්ට ද පිහිනා යෑමට මහත් ආයාසයක් දැරීමට සිදුවී ඇත. එක පටු විවරයක එක් අවස්ථාවක පිහිනා යෑමට ඉඩ ඇත්තේ එක් කිමිඳුම්කරුවකුට පමණක් යැයි ද පැවැසෙයි. මනා පුහුණුව ලැබූ කිමිඳුම්කරුවකුට වුවත් මෙම ලෙන තුළ පිහිනා යෑම අභියෝගයක් වී ඇත.

පිවිසුමේ සිට ලෙන් කුහර සහ පටු මාර්ග ඔස්සේ දරුවන් සිටින තැනට යෑමට පැය 6 ක් ගතවෙයි. සිරවී සිටින දරුවන් 12 දෙනාට හෝ පුහුණුකරුට හෝ පිහිනිය නොහැකිය. දින 9 ක් ආාර නොමැතිව සිටි 25 හැවිරිදි පුහුණුකරු එකාපෝල් චැන්ටාවොංග් සිටින්නේ දුර්වල තත්ත්වයක පසුවන බව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු අනාවරණය කළහ.

ලෙන තුළ ඇති ජලය බැස යනු ඇත්තේ තව මාසයක පමණ කාලයකිනි. එතකල් සිරවුණු පිරිසට ලෙන තුළ සිටීමට සිදුවුනු ඇතැයි ද තායිලන්ත රජය පවසා ඇත. කෙසේ නමුත් දරුවන්ට කිමිඳීමට සහ පිහිනීමට පුහුණුවක් දී ඔවුන් කෙසේ හෝ එළියට ගැනීමට ද තායි නේවි සීල් භට කණ්ඩායම සූදානම් වෙයි. එය ඉතා අසීරු කාර්යයක් බව ද පැවැසෙයි. 

මෝසම් වැසි දිනෙන් දින වැඩිවල බැවින් දරුවන් කොටු වී සිටින ස්ථානය ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව තායිලන්ත රජය පැහැදිලි කරයි. දරුවන් සිටින තැනට ඉහළ සිට, සිදුරක් කැණීම් කරමින් දරුවන් මුදා ගැනීමේ සැලැස්මක් ඇති නමුත් නිශ්චිතය ඔවුන් සිටින තැනට කැණීම් සිදු කිරීම ගැටලුවක් වී ඇත.

(ඩේලිමේල්)


RECOMMEND POSTS