එන්නත නොමිලේ දෙනවා



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.

බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 540,000කි.

“සෑම පුරවැසියකුටම මේ එන්නත නොමිලේ ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්‍රෑන්ක් වැන්ඩබෲකේ පැවැසීය.

අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද සම්බන්ධ වූහ.

සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වයිරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් සියයට 70කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

“අපේ රටේ ජනතාවගෙන් සියයට 70කය මේ එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. සමාජ විවාදයකින් සහ විද්‍යාත්මක අදහස සහ මතය අනුව එන්නත මුලින්ම දෙන්නේ කාටදැයි තීරණය කරනවා. ඒ අනුව ප්‍රමුඛත්වය දෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය වැන්ඩබෲකේ පැවැසීය.

බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි. බෙල්ජියමේ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වයිරස මරණ අනුපාතය ඉතා ඉහළ වන අතර එය යුරෝපයේ දරුණුම නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය ද වේ.

ඉදිරි මාස කිහිපයේදී එන්නත් තොග මිලදී ගැනීම සඳහා බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටියි.

ජර්මනියේ කියෝවැක් ඖෂධ සමාගම ද මේ වනවිට නව කොරෝනා වයිරසයක් අත්හදා බලමින් සිටින අතර බෙල්ජියම එම සමාගම සමඟ ද ගිවිසුමකට අත්සන් තැබීය.

බෙල්ජියම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7.7 ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් එන්නත් මිලියන 5.5 ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබා ඇත.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS