එන්නත නත්තලට කලින් ඇමෙරිකානුවන්ට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නත නත්තලට කලින් ඇමෙරිකානුවන්ට ලැබෙනු ඇතැයි ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මහජන කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඇලෙක්ස් අසාර් පවසයි.

ඇලෙක්ස් අසාර්, මෙසේ පැවැසුවේ, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ නමැති ඇමෙරිකන් ජෛව පර්යේෂණ සමාගම් වෙන් වෙන්ව නිපදවා ඇති ‘කොවිඞ් 19’ ආසාදනය වීම වළක්වන එන්නත් සාර්ථක බව පැවැසීමත් සමඟය. ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වයිරස විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පමණක් නොව ඇමෙරිකන් වෛද්‍ය සභාවේ ද අනුමැතිය ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත සඳහා ලැබී අවසන්ය.

‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. මෙම සමාගම් දෙක එක් කරමින් එන්නතක් නිපදවීමට මූදල් ආධාර ලබා දීම කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයයි. ඒ අනුව, සාර්ථක වන එන්නත ‘ෆයිසර්’ සමාගම හරහා පළමුවෙන්ම ඇමෙරිකානුවන්ට ලබා දීමට ඇමෙරිකන් රජය ‘බයෝ ඇන් ටෙක්’ සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ.

‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත සේම, ‘මොඩර්නා’ එන්නත ද සියයට සීයයක් අතුරු ආබාධවලින් තොර බව පැවැසෙයි. සිදු කළ තෙවැනි අදියරේ අත්හදා බැලීම්වලදී ඊට සම්බන්ධ කරගත් කීප දෙනකුට පමණක් උණ හටගත්තත්, පැරසෙටමෝල්වලින් එය සමනය කර ගැනීමට හැකිවුණු බව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී තිබේ.  ලෝක සෞඛ්‍ය සංවිධානය ද ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් කෙරෙහි අවධානයෙන් පසු වෙයි.

‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර් එන්නත මෙන් නොව, ‘මොඩර්නා’ එන්නත ගබඩා කිරීමට අවශ්‍ය වන්නේ සෙල්සියස් අංශක රින 20 ක උෂ්ණත්වයකි. එන්නත, සාමාන්‍ය ශීතකරණයක් තුළ මාස 6 ක් දක්වා වයිරසය සුරක්ෂිතව ගබඩා කළ හැකිය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත එසේ නොවන අතර, එය ගබඩා කිරීමට සෙල්සියස් අංශක රින 75 ට ක උෂ්ණත්වයක් අවශ්‍ය වෙයි. එවැනි උෂ්ණත්වයක් යටතේ ද එන්නත තබා ගැනීමට හැකි වන්නේ දින 5 ක කාලයක් පමණය.

කෙසේ නමුත් ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත හෝ ‘මොඩර්නා’ එන්නත හෝ කුඩා දරුවන් වෙනුවෙන් ‘ආරක්ෂිත’ යැයි මෙතෙක් තහවුරු කර නැත. මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු පුද්ගලයන් පමණක් බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS