උතුරු කොරියාවේ මහා නියඟයක්



හිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික වැඩසටහන සහ දිගු දුර මිසයිල වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාවේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සම්බාධකවලින් මිරිකී සිටින උතුරු කොරියාව දැඩි නියඟයකට මුහුණ පා සිටින බවත්, ලක්ෂ ගණනක් ආහාර නොමැතිව පීඩාවට පත්වී සිටින බවත් වාර්තා වේ.

වසර 37 කට පසු වර්ෂාපතයේ සහ හිම පතනයේ අඩුවක් දකින්න ලැබෙන බවත් මේ නිසා නියං තත්ත්වය නිර්මාණය වී ඇති බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය ජනවාරියේ සිට මැයි වෙද්දී, වාර්තා වී ඇත්තේ මිලිමීටර් 54.4 ක වර්ෂාපතනයක් පමණක් බව ද උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන්නේ ‘හමුදාවට පළමු තැන’ ප්‍රතිපත්තියයි. උතුරු කොරියාව හමුදාව, න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ වැඩසටහන, රොකට් වැඩසටහන දියුණු තත්ත්වයක පවතින්නේ එහෙයිනි.

මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාම මාවතට පිවිස සිටී. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවට හෙතෙම ප්‍රතිඥා දී ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ මේ සම්බන්ධනේ සාකච්ඡා පවතින නමුත්, අවසන් වරට හැනොයි නුවරදී පැවැති සාකච්ඡා අසාර්ථක විය. ඒ, ට්‍රම්ප් අපේක්ෂා කළ අන්දමින් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොවන නිසාය.

ට්‍රම්ප් පවසා ඇත්තේ උතුරු කොරියාව මුළුමනින්ම ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන අතහැර දැම්මොත්, පනවා ඇති සම්බාධක සියල්ල ඉවත් කරන බවය. එසේ කළොත් උතුරු කොරියාව ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බව ද ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS