උතුරු කොරියාවේ කාන්තා හිංසන වැඩියි



උතුරු කොරියා  නිලධාරීන් එරට කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා ඔවුන් කිසිදු දඬුවමකට ලක් නොවන බව Human Rights Watch(HRW) සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම ආයතනය පවසන්නේ, ලිංගික අතවර සාමාන්‍ය ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති තරමට එය අතිශය සාමාන්‍ය කාරණයක් බවට පත්ව ඇති බවය.

උතුරු කොරියාවෙන් පළා ගිය එරට වැසියන් 62 දෙනෙකු සමග සාකච්ඡා කර ඇති එම ආයතනය, ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඔවුන් හෙළි කළ අදහස් පදනම් කරගෙන එම වාර්තාව සකස් කර තිබේ.

වාර්තාව සකස් කළ කණ්ඩායම පවසන්නේ, සිය අධ්‍යයනය තුළින් එරට තුළ නොසඟවා ලිංගික අතවර සිදු කෙරෙන සංස්කෘතියක් පවතින බව අනාවරණය වී ඇති බවය. විශේෂයෙන් නිලයෙන් සහ බලයෙන් ඉහළ නිලධාරීන් එම ක්‍රියාවල නිරත වන බව තහවුරු වී තිබේ.

"ඒ අය අපට සලකන්නේ (ලිංගික) සෙල්ලම් බඩු විදියට. අපි පිරිමින්ට යටත් වෙලා ඉන්න ඕන," උතුරු කොරියාවේ ව්‍යාපාරිකාවක ලෙස කටයුතු කළ 40 හැවිරිදි ඕ ජුං-හී සමීක්ෂකයින්ට පවසා ඇත.

උතුරු කොරියාව වැනි රටක් සම්බන්ධයෙන් මෙවැනි වාර්තා සැකසීම දුර්ලභ වන අතර එරටින් මෙවැනි සිද්ධි පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම ද අතිශය දුෂ්කර කටයුත්තකි.

(තිළිණි දි සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS