උතුරු කොරියාව සීරුවෙන්



උතුරු කොරියාව එරට රැඳී සිටින විදේශිකයන් 380 දෙනකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය එරටට පැතිර යෑම වළක්වා ගැනීමේ අරමුණින් යැයි පැවැසෙයි.

මෙසේ නිරෝධායන (වෙන් කර තැබීමේ) ක්‍රියාවලියකට ලක් කර ඇතැයි පැවැසෙන්නේ උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර සිටින විදේශිකයන්ය. ඔවුන්ගෙන් වැඩිදෙනා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බව පැවැසෙයි.

උතුරු කොරියාව මෙම පිරිසට දන්වා ඇත්තේ ඔවුන්ගේ නිවාස සහ නවාතැන්වලට වී සිටින ලෙසටය. උතුරු කොරියානු රජය මෙම නිරෝධාන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ මීට සති කීපයකට පෙරය. උතුරු කොරියානු රජය නිවේදනය කළේ එම නිරෝධායන ක්‍රියාවලිය තවත් දින 30 කට දීර්ඝ කළ බවය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් කිසිවකු තවමත් උතුරු කොරියාවෙන් වාර්තා වී නැත. කෙසේ නමුත් බි්‍රතාන්‍යයේ ‘ද සන්’ ටැබ්ලොයිඞ් වෙබ් අඩවිය වාර්තා කළේ, යොංග්යැංග් නුවරින් ‘කෝවිඞ් 19’ ආසාදිතයකු හමුවුණු බවය.

එම ආසාදිතයාට රෝහල්ගත වී නිරෝධානයට වෙන්නැයි උපදෙස් දී ඇති නමුත් ආසාදිතයා එම උපදෙස් නොතකා ප්‍රසිද්ධ ස්ථානවල ගැවසී තිබේ. උතුරු කොරියා ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගත් බවත්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඔහුට මරණ දඬුවම පැනැවූ බවත් ‘ද සන්’ ටැබ්ලොයිඞ් පුවත් වෙබ් අඩවිය වාර්තා කර කර ඇත.

යොංග්යැංග් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS