උතුරු කොරියාව 922 ක් පරීක්ෂා කරලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් යැයි සැක කරමින් උතුරු කොරියානු රජය, උතුරු කොරියානුවන් 922 දෙනකු වයිරස පරීක්ෂාවට යොමු කළේ යැයි තමන්ට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කෙසේ නමුත් තවමත් උතුරු කොරියාවෙන් කිසිදු ‘කොවිඩ් 19’ කොරෝනා ආසාදිතයකු හමුවී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ.

උතුරු කොරියාව, එරට ‘කොවිඩ් 19’ වයිරස වසංගතය සම්බන්ධයෙන් නිල වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

උතුරු කොරියාව මෙම 922 දෙනා වයිරස පරීක්ෂාවට ලක්කර ඇත්තේ පසුගිය ජූනි 19 වැනිදා යැයි ද පැවැසෙයි. ඔවුන්ගෙන් කිසිවකුටවත් වයිරසය ආසාදනය වී නැත.

ඊට අමතරව උතුරු කොරියානුවන් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ 443 දෙනකු නිරෝධායනයට පියවර ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් 255 දෙනකු තවමත් නිරෝධායනයේ පසුවන බවත් උතුරු කොරියානු රජය තමන්ට පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS