උතුරු කොරියා හොකී පිල දකුණු කොරියාවට



පෙබරවාරියේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහා උතුරු කොරියානු කාන්තා හොකී කණ්ඩායම දකුණු කොරියාව බලා පැමිණියේය.

දෙළොස්දෙනකුගෙන් සමන්විත හොකී ක්‍රීඩිකාවෝ දේශසීමා හරහා උතුරේ සිට දකුණු කොරියාවට පැමිණියේ විශේෂ නියෝජිත පිරිසක් ද සමඟය.

ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට දකුණු කොරියානු බලධාරීන් කටයුතු කර තිබුණි. උතුරු කොරියානු හොකී කණ්ඩායම වේලාසනින් මෙසේ දකුණු කොරියාවට පැමිණියේ පුහුණුවීම් සඳහා යැයි ක්‍රීඩා බලධාරීහු කියති.

මෙවර දකුණු කොරියාවේ යොංග්චෙංග් නුවර පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළේ ඇති විශේෂත්වය නම්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකම පිලක් ලෙස ‘කොරියාව’ යන නමින් එකමුතුව තරගවලට ඉදිරිපත් වීමය.

සීත ඔලිම්පික් උලෙළ කේන්ද්‍ර කොට ගනිමින්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යහපත් සබඳතා නිර්මාණය වී ඇත. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරටටම පොදු දේශසීමා ගම්මානයේ දී සාකච්ඡා පවා පැවැත්වෙයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මේ අයුරින් යහපත් සබඳතා නිර්මාණය වූයේ 2015 වසරෙන් පසුවය.

ඔලිම්පික් උලෙළ කටයුතු සිදුවන්නේ කෙසේදැයි සොයා බැලීමේ අරමුණින්, පසුගිය දා උතුරු කොරියානු විශේෂ දූත පිරිසක් ද දකුණු කොරියාව බලා පැමිණියේය. එම පිරිසට නායකත්වය දුන්නේ උතුරු කොරියානු පොප් ගායිකා හියොන් සොන් වෝල් ය. ඇයට දකුණු කොරියානු රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මෙසේ හොඳහිත වර්ධනය වීම, ඇතැම් දකුණු කොරියානුවන්ගේ විරෝධයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි. විරෝධතාකරුවන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ පඹයන් ගිනිබත් කරමින් විරෝධතා දක්වති. ඔවුන් පවසන්නේ උතුරු කොරියාව කිසිසේත් විශ්වාස කළ නොහැකි බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS