ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා



අගමැති ඉම්රාන් ඛාන්ට වහා ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලපඍම් කරමින් පාකිස්තානයේ දැවැන්ත විරෝධතා රැලි පැවැත්වෙයි.

විරෝධතා සංවිධානය කරනු ලැබ ඇත්තේ, දක්ෂිණාංශික මතධාරී, ආගමික සහ දේශපාලන නායකයකු ද වන ෆසුල් අල් රෙහ්මාන් විසිනි. අල් රෙහ්මාන්, ජමායාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පකක්ෂයේ නායකයා ද වෙයි.

අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය බලයට පත් වූයේ පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙනි. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය බලයට පත්වුණු පළමු අවස්ථාව මෙයයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ, රට මූල්‍ය වශයෙන් දැඩි අර්බුදයකට ලක් වූ අවස්ථාවකය. රජයේ ඇමැතිවරුන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වියදම් කප්පාදු කිරීමට අගමැති ඉම්රාන් පියවර ගත්තේය. සෞදියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් පාකිස්තානයට සහන ණය පැකේජ පවා හිමිවිය. ඒ, අගමැති ඉම්රාන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

අගමැති ඉම්රාන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් විරෝධතා පැවැත් වෙන්නේ, පාකිස්තානය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය දිනෙන් දින උත්සන්න වන බවත්, මැතිවරණ අක්‍රමිකතා සිදුවන බවටත් චෝදනා කරමිණි.

ෆසුල් අල් රෙහ්මාන් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කරච්චි නුවර සිට ඉස්ලාමාබාද් තෙක් පැමිණියේය. ඒ, ප්‍රධාන නගර කීපයක විරෝධතා රැලි පවත්වමිනි.

දස දහසකට වැඩි පිරිසක් එම පා ගමනටත් විරෝධතා රැලිවලටත් එක් වුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂයේත්, පාකිස්තාන ජනතා පක්ෂයේත් සහාය ජමායාත් උලෙමා ඉස්ලාම් ෆාසල් පක්ෂයට සහාය දක්වමින් විරෝධතාවට එක් වී සිටි බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS