ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ කාර්යාලයක් සැපයෙනු ඇති බව එහි පරිපාලන නිලධාරීහු පවසති.

ඇමරිකානු ජනපතිගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරන ධවල මන්දිරයේ බටහිර කාර්යාල සංකීර්ණයේ ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් කාර්යාලයක් වෙන් කරනු ඇති නමුත් ඇයට රජයේ තනතුරක් හෝ වැටුපක් හිමි නොවන බව ඔවුහු පවසති.

ධවල මන්දිර පරිපාලන නිලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වන විට තිස් පස් වෙනි වියේ පසුවන ඉවන්කා ට්‍රම්ප්ට රජයේ රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශ වීමට පවා අවසර ලබා දෙනු ඇති බවය. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේශපාලනික උපදෙස් සේවා සැපයීම සහ ධවල මන්දිරය තුළ ජනාධිපතිවරයාගේ 'ඇස් සහ කන්' බවට පත් වීම ඇයගේ කාර්ය භාරය වනු ඇත. 

ඇමරිකානු විලාසිතා සන්නාමයක හිමිකාරියවන ඉවන්කා ට්‍රම්ප්, මේ වන විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරන සිය සැමියා ජෙරාඩ් කුෂ්නර් හා එක්ව කටයුතු කරනු ඇත. 

ඇමරිකානු ජනාධිපතිවරයාට ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ සැමියාගෙන් එල්ල වන බලපෑම බැඳියාව පිළිබඳ ගැටුම් ඇතිකරන තත්වයක් බවට පත් වේ දැයි යන්න සම්බන්ධයෙන් ගැටලු මතුවෙමින් පවතී.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS