ඉල්ලීම සලකා බලනවා



සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී කළ ඇරැයුම ගැන සලකා බලන බවත්, තලේබාන් ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට එම ඇරැයුම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසයි.

තලේබාන් ප්‍රකාශකයා මේ බව පවසා ඇත්තේ බීබීසී ඇෆ්ගන් පුවත් සේවය සමඟය.

කිසිදු කොන්දේසියක් නොමැතිව සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී  එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන තලේබාන් ත්‍රස්තවාදීන්ට දැනුම් දුන්නේ ඊයේ (28) ය.

සාම සාකච්ඡාවලට පැමිණ, දීර්ඝ කාලයක් තිස්සේ පවතින අර්බුදයට තිරසාර විසඳුමක් සොයමු යැයි ද ඇෆ්ගන් ජනාධිපතිවරයා එම තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කළේය.

සාම සාකච්ඡා හරහා සටන් විරාමයක් සහ සිරකරු හුවමාරුවක් සිදු කිරීමට තමන් සහ තම රජය සූදානමින් සිටින බවත්, සාම කතා පැවැත්වෙන්නේ ඇමෙරිකාව හෝ කිසිදු බටහිර රටක මැදිහත්වීමකින් හෝ අතපෙවීමකින් තොරව බවත් ඇෆ්ගන් ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS