ඉන්දීය කුලහීනයන්ට අස්වැසිල්ලක් !





මහමැතිවරණවල දී ඡන්ද දිනා ගැනීම සඳහා දේශපාලකයන් විසින් ආගම හෝ කුලය පාවිච්චි කරනු ලැබීම නතර කළයුතුව ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. 

මැතිවරණ ක්‍රියාවලිය අනාගමික කාර්යයක් වන බව පෙන්වා දෙන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ආගම දේශපාලනයේ භූමිකාවක් නොවන බවයි තීන්දු කරනු ලැබ තිබෙන්නේ.එවැනි තත්වයක් යටතේ ආගම සහ කුලය ඡන්ද ආකර්ෂණය කර ගැනීමට පාවිච්චි කරනු ලැබීම මැතිවරණ නීතිය යටතේ දූෂණයක් වන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.

එම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුනේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට සති දෙකක් තිබියදීය.උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත සභා මැතිවරණයේ දී කුලය සහ ආගම් නිතරම මුල් තැනක් ගනී.පන්ජාබ්, උත්තර්කාන්ද් සහ ගෝවේ යන ප්‍රාන්තසභා මැතිවරණත් ඉදිරි කාලය තුළ පැවැත්වීමට නියමිතයි.

අගවිනිසුරු ටී.එස්.තාකුර්(TS Thakur) ප්‍රමුඛ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඉහත කී කාරණය විභාග කෙරුණ අතර, විනිශ්චයකාරවරුන් තිදෙනකු වෙනස් මතයක සිටි අතර බහුතරයේ එකඟතාව අනුව අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

තීන්දුවට එකඟ නොවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තුන්දෙනාගේ නිගමනය වුණේ, මැතිවරණ ක්‍රියාවලියෙන් පරිබාහිරව කුලය, ඇදහිලි සහ විශ්වාස මෙන්ම ආගම පිළිබඳ සාකච්ඡාවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රැකවරණ සැලසෙන අතර ඒ සම්බන්ධයෙන් තහංචි පැනවීම සිදු නොකළ යුතු බවය.එවැනි කරුණු පිළිබඳව තීන්දු කරනු ලැබීම පාර්ලිමේන්තුවට භාරකළ යුතුයයි එම විනිසකරුවෝ තිදෙනා ප්‍රකාශ කළහ. 

ඉන්දියානු දේශපාලනයේ දී කුලය සහ ආගම ඡන්දදායකයා කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරන අතර බොහෝ දේශපාලන පක්ෂ මැතිවරණවලදී සිය අපේක්ෂකයන් තෝරාගනු ලබන්නේ එම සාධක සැලකිල්ලට ගනිමිනි. 1990 දී බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් මැතිවරණවලදී ආගම සහ කුලය පාවිච්චි කරනු ලැබීමේ කාරණය පළමුවරට ඉස්මතු කළ අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ එම ප්‍රශ්නය විභාග කරමිනි.

 

තිළිණි ද සිල්වා / බීබීසී ඇසුරෙනි....

 

 


RECOMMEND POSTS