ඉන්දියාවට සුවිශේෂී කාර්යභාරයක්



දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේදී ඉන්දියාවේ සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පත් කර සිටින විශේෂ නියෝජිත ජෝන් කෙරී මේ මාසයේ දී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙන මොහොතක නවදිල්ලියේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ඒ බව පැවැසීය.

ජෝන් කෙරීගේ සංචාරයේ දී හෙතෙම ඉන්දීයේ රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ සාමාජිකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ නායක සමුළුව අප්‍රේල් 22 සහ 23 යන දෙදින පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රඥප්ති රාමුවේ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 26 වැනි සමුළුව ද පැවැත්වීමට නියමිත ය.

මේවායේ උපදේශන සහ අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා ජෝන් කෙරී අප්‍රේල් 1 සිට 9 වැනිදා දක්වා කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල සංචාරයක නිරත විය.

‘‘ලොව විශාලතම ආර්ථිකයක් ලෙසත්, විද්‍යාව සහ නවෝත්පාදනයේ ගෝලීය නායකයකු ලෙසත් දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේදී ඉන්දියාවට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා. පිරිසුදු බලශක්ති පර්යේෂණ, සංවර්ධන සහ ස්ථාපිත කිරීම්වලදී ඉන්දියාවට වැදගත් පාර්ශවකරුවකු බව කියන්න අවශ්‍යයි. එමෙන්ම ඉන්දියාවට මේ සම්බන්ධයෙන් සාර්ථක දේශීය න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. කාබන් වායු විමෝචනය බිංදුව දක්වා ගෙන ඒමට අපේ පරිපාලනය ඉන්දියාවට පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ සඳහා ඉන්දියාව දිරිගන්වනවා. අඩු කාබන් වායු විමෝචන ආයෝජන දිරිගන්නවා. ඉන්දියාවේ පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා අපි සහයෝගය දෙනවා’’ යැයි නවදිල්ලියේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියා පැවැසීය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඇමෙරිකාවේ විශේෂ නියෝජිතයා ලෙස ජෝ බයිඩන් ඉන්දියාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වේ.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS