ඉන්දියාව සමඟ සාමයෙන් කටයුතු කළ යුතුයි



පාකිස්තානයට ඉන්දියාව සමඟ සාමයෙන් කටයුතු කිරීමට අවශ්‍ය යැයි ද සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ද පාකිස්තාන ජනාධිපතිවරයා සෙනසුරාදා (23) ප්‍රකාශ කළේය.

“අපි යුද්ධය ගැන විශ්වාසය තබන්නේ නැහැ. අපට ඕනේ සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගන්න” යැයි ජනරජ දිනයේ කතාව කරමින් පාකිස්තාන ජනාධිපතිවරයා කීවේය. 

පාකිස්තාන ජනරජ දිනයට සමගාමීව එරට 79 වැනි ජාතික දින උත්සවය ද පැවැත්විණි. එහිදි ඉස්ලාමාබාද් නුවරදී හමුදා ආචාර පෙළපාළියක් ද පැවැත්විණි.  

පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම වෙනුවෙන් 1940 මාර්තු 23 වැනිදා ‘ලාහෝර් යෝජනාව’ සම්මත කරගැනීම සහ 1956 මාර්තු 23 වැනිදා ඩොමිනියන් තත්ත්වයෙන් මිදී පාකිස්තාන ඉස්ලාමීය ජනරජය නමින් පාකිස්තානය ජනරජයක් බවට පත්වීම සිහිපත් කරමින් පාකිස්තාන ජාතික දිනය හෙවත් ජනරජ දිනය සැමරේ. 

පාකිස්තානය සිය ජනරජ දිනය සමරන ලද්දේ ඉන්දියාව සමඟ යුද වැදීමේ අවදානමකට මුහුණ දී මසකට ආසන්න කාලයක් ගෙවී යන මොහොතකය. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා නිලධාරීන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමත් සමඟ රටවල් දෙක එකිනෙකාට ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු පාකිස්තාන අත්අඩංගුවට ද පත්විය. දෙරට අතර නොසන්සුන්තාව උග්‍ර වූ අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද හටගැනිණි.

“යුද්ධය වෙනුවට අපි අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු” යැයි පාකිස්තාන ජනාධිපතිවරයා කීවේය. 

“අපි අද පණිවුඩයක් දෙනවා. අපි සාමකාමී මිනිස්සු ඉන්න රටක්. එහෙත් අපි කිසිදු අවස්ථාවකදී අපේ ආරක්ෂාව කෙරෙහි තබන අවධානය ඉවතට ගන්නේ නැහැ” යැයි ජනාධිපති අල්වි පැවැසීය. 

ආචාර පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මැලේසියානු ජනාධිපති මහතීර් මොහොමඞ් සහභාගී වූ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ඊට එක්ව සිටියේය. 

සාමය සහ කලාපීය සහයෝගීතාව අවශ්‍ය බව කියමින් සහ ජනරජ දිනයට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට පණිවුඩයක් එවූ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“අපේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි එවූ පණිවුඩය මා පිළිගන්නවා” යැයි ඉම්රාන් ඛාන් කීය. 

“සියලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉන්දීය සමඟ පුළුල් සාකච්ඡාවක් ආරම්භ කිරීමට කාලය එළැඹ ඇතැයි මා විශ්වාස කරනවා” යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

හර්ෂණ තුෂාර සිල්වා
ටී.ආර්.ටී වර්ල්ඞ් 

RECOMMEND POSTS