ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැප වෙන්න ඕනෑ



වසර 20 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සොයමින්, එරට සාමය උදා කිරීමට කැපවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අවධාරණය කරයි.

ජගත් මහ ලේකම්වරයා මේ බව අවධාරණය කළේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු අවි ගැටුම් නිසා උන්හිටි තැන් අහිමි සරණාගතයන් පිළිබඳ සමුළුවට එක්වෙමිනි. සමුළුව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙන්නේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීමෙනි.

‘ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට පාර්ශ්ව කීපයක් මැදිහත්වීමෙන් සාකච්ඡා පැවැත්වෙනවා. ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම පාර්ශ්වලට සහාය දක්වනවා.’ යැයි සමුළුව අමතමින් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කළේය. ජගත් මහ ලේකම්වරයා පාකිස්තානයට පැමිණ සිටින්නේ සිවුදින සංචාරයක් සඳහාය. ඇෆ්ගනිස්තානය පාකිස්තානයේ අසල්වැසියා ය. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට පාකිස්තානය ද මැදිහත් වී සිටී.

ඊට අමතරව, ඇමෙරිකානු රජය සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර ද වෙනම සාම කතා පැවැත්වෙයි. එම සාම කතා සාර්ථක යැයි ඇමෙරිකාව පවසයි. ඇෆ්ගන් අර්බුද අර්දය ආරම්භ වූයේ 2001 දී ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා කළ ආක්‍රමණයත් සමඟය. ඇමෙරිකාව නේටෝ හමුදා සමඟ එක් වී තලේබාන් පාලනය පෙරළා දැම්මේ තලේබාන්වරුන් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ට සහාය සහ අනුග්‍රහය දැක්වූ නිසාය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්, ඉස්ලාමාබාද් බලා පැමිණියේ පසුගිය 16 වනිදාය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, විදේශ ඇමැතිවරයා සමඟ එක්වෙමින්, ජගත් මහ ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී විය.

එහිදී ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේය. ඉන්දු කාශ්මීර අර්බුදයේදී ඉන්දියාවේ ක්‍රියාපිළිවෙත විචේනය කිරීමට ද ජගත් මහ ලේකම්වරයා පියවර ගත්තේය.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS