ඇෆ්ගනිස්තානයේ කාර් බෝම්බයට 30 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ සිදුවුණු කාර් බෝම්බ පිපිරුමකින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. එම 30 දෙනා අතර පාසල් දරුවන් කීප දෙනකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කාර් බෝම්බය පුපුරා ගියේ නැගෙනහිර ලෝගාර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් පළාතේය. බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ ගණන 12 කි. ප්‍රහාරයත් සමඟ අවට ගොඩනැගිලි සහ මෝටර් රථ රැසක් විනාශ වූ බව ද පැවැසෙයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාරගෙන නැති නමුත් එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවක් යැයි සැක කෙරේ. මෙම බෝම්බය පුපුරා ගියේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇති අවස්ථාවකය. ලබන සැප්තැම්බර් 11 වැනිදාට පෙර ඇෆ්ගනිස්තානයේ සියලුම ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගන්නා බවට බයිඩන් ප්‍රතිඥා දී තිබේ.

කාබූල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS