ඇමෙරිකාවේ චණ්ඩිකම්වලට බය නෑ: උතුරු කොරියා කියයි



ඇමෙරිකාවේ තර්ජනවලට බිය නොවන බවත්, සතියක් පාසා මිසයිල අත්හදා බලන බවත් ඇමෙරිකාවට තර්ජනය කරමින් උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති හාන් සොන් රොයිල් බී.බී.සී. පුවත් නාළිකාවට පවසා ඇත.

‘ඇමෙරිකාවේ චණ්ඩිකම්වලට අපි බය නැහැ. තර්ජනවලට බය නැහැ. ඇමෙරිකාව අපට පහර දුන්නොත් ඇමෙරිකාව එක්ක යුද්ධ කරන්න අප සූදානම්. ඇමෙරිකාව සමඟ හැප්පෙන්න අපට ශක්තිය තිබෙනවා. සතියකට වරක්, මාසයක් තිස්සේ, අවුරුද්දක් තිස්සේ අපි මිසයිල අත්හදා බැලීම් කරනවා.’ යැයි උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති හාන් සොන් රොයිල් බී.බී.සී. නාළිකාව සමග කළ එම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.

බී.බී.සී පුවත් නාළිකාව වෙනුවෙන් එම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ මාධ්‍යවේදී ජෝන් සුඞ්වෝර්ත්ය.
ජපානයට යෑමට පෙර ඇමෙරිකන් උප ජනාධපති මයික් පෙන්ස් දකුණු කොරියාවේ සංචාරයකට නැයැලුණේය. ඒ, පසුගිය දෙදිනක කාලයේය.

දකුණු කොරියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ සංචාරයක යෙදෙමින්, දේශසීමා ආරක්ෂාවට හමුදාව යොදවා ඇති අයුරු නිරීක්ෂණය කරමින්, මයික් පෙන්ස් කියා සිටියේ ‘උතුරු කොරියාව ඔවුන්ගේ හිතුවක්කාර න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නවත්වන්නේ නැතිනම්, ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න අප පසුබට වෙන්නේ නැහැ’ යනුවෙනි.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ බවත් මින් ඉදිරියට එසේ ඉවසීමෙන් කටයුතු කරන්නේ නැති බව ද උප ජනපති පෙන්ස් කියා සිටියේය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරු කොරියාවට පහරදීමට මැලි නොවන බවත්, නොසිතූ විරූ මොහොතක උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවත්ය.

ඇමෙරිකා උප ජනපති මයික් පෙන්ස් දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී පවා උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් කළේය. කෙසේ නමුත් එය අසාර්ථක විය.

එම දිගු දුර බැලැස්ටික මිසයිලය අසාර්ථව වූ බවක් ප්‍රසිද්ධියට පත් නොකර උතුරු කොරියාව ඉන්පසු දැවැන්ත හමුදා පෙරහුරුවක් ද පැවැත් වූ බව දකුණු කොරියානු බුද්ධි අංශ පවසා ඇත. එහිදී උතුරු කොරියාව සතු සෙසු දිගු සහ කෙටි දුර මිසයිල ප්‍රදර්ශනය කෙරුණි.

මේ අතර උතුරු කොරියාව ‘මෙල්ල’ කර ගැනීමට සහාය වන්නැයි ජනපති ට්‍රම්ප් චීන ජනපති ෂී ජින්පින්ගෙන් ද ඉල්ලා ඇත. ඒ, චීන ජනපති ජින්පින් පසුගිය දා ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි අවස්ථාවේදීය. උතුරු කොරියාව ‘මෙල්ල කර ගැනීමට’ සහාය නොදෙන්නේ නම්, උතුරු කොරියාව මෙල්ල කිරීම තමන් බාර ගන්නා බව ද ට්‍රම්ප් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS