ඇමෙරිකාවේ කොරෝනා ඉහළ යයි



ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් සිකුරාදා දිනයේදී වාර්තාගත නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් හඳුනාගෙන ඇති අතර එම ගණන 177,000 ඉක්මවයි.

අවසන් දින හතේ දී, දෛනිකව වාර්තා වූ ආසාදිතයන් ගණනේ සාමාන්‍ය දෙස බැලීමේදී එම ගණන සියයට 30කින් වැඩි වී ඇතැයි ද ඇමෙරිකාවේ ජනපද 25ක් සහ වොෂින්ටන් අගනුවර පිහිටි කොලොම්බියා දිස්ත්‍රික්කය සිකුරාදා වාර්තා කළේය.

එමෙන්ම පසුගිය සතියක කාලයේදී ඇමෙරිකාවේ සෑම ජනපදයකින්ම වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ ගොස් ඇත. ආසන්න වශයෙන් ජනපද දහයකින් දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකාවේ මධ්‍ය බටහිර ජනපද වන ඉලනෝයි, අයෝවා, කැන්සස් සහ ඔහායෝ යන ජනපදවලින් එලෙස වාර්තා ගත ආසාදිතයන් වාර්තා වී ඇතැයි රෝහල් ද මේ වනවිට වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන නැවත වරක් ඉහළ යෑමත් සමඟ සීමා පැනවීමට ජනපද කිහිපයක් ම යළි පියවර ගෙන ඇත. ඒ අනුව ඇතැම් ජනපද මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති අතර තවත් ජනපද කිහිපයක් පාසල්, අවන්හල්, බීමහල් වසාදමමින් මහජන ඒකරාශී වීම් සීමා කරන්නැයි නියෝග කර ඇත.

‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි


RECOMMEND POSTS