ඇමෙරිකාවේ ආසාදිතයෝ මිලියන 3 ක්



ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර ඇති බවත්, මරණ ගණන 1,34,000 පසු කර ඇති බවත් වාර්තා විය.

 ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. අද ‘කොවිඞ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව සහ ලතින් ඇමෙරිකාවය.

ලොව දෙවැනියට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ඇමෙරිකාවෙන් වැඩි වැඩියෙන් වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ, එරට වයිරස ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ වැඩි කර ඇති නිසාය. වයිරස ආසාදිතයන් දිනෙන් දින ඉහළ ගියත්, පැනැවූ තහංචි ලිහිල් කරමින් දෛනික කටයුතු යළි ආරම්භ කිරීමටත් පාසල් ආරම්භ කිරීමටත් ධවල මන්දිරය සූදානම් වන බව වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිහිටුවූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස කාර්ය සාධක බලකාය මෙහෙයවීම කළේ උප ජනාධිපති මයික් පෙන්ස් ය.

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී පෙන්ස් පෙන්වා දුන්නේ, වයිරසය හේතුවෙන් ජනතාවට අනවශ්‍ය ලෙස තහංචි පැනැවීම කළ නොහැකි බවය.

පසුගිය 7 වැනිදා පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 60,000 කි. එය එක් දිනකදී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ගණන යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකාව හොඳ ස්ථාවර තත්ත්වයක පසුවන බවය.

පසුගිය දින කීපය පුරාවට කැලිෆෝනියා සහ ටෙක්සාස් ජනපදවලින් දිනකට ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා විය.

‘වයිරස ආසාදිතයන් දිනපතා විශාල වශයෙන් හඳුනා ගැනීම සිදුවෙනවා. ඒක හොඳ දෙයක්. ඒත් අප කළ යුතු වන්නේ වයිරසය පාලනයයි. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි කළ යුත්තේ’ යැයි ඇමෙරිකාවේ බෝවන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පෙන්වා දුන්නේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS