ඇමෙරිකානුවන්ට තහංචි



චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාව ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර, පසුගිය සති දෙක ඇතුළත චීනයේ සංචාරය කළ පුද්ගලයන්ට ඇමෙරිකා පැමිණීම තහනම් කර තිබේ.

නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් අට දෙනකු මේ වනවිට ඇමෙරිකාවේ සිටින බව වාර්තා වේ. එම අට දෙනා අතරට, චීනයෙන් පැමිණි කොරෝනා වයිරස රෝගීන් නිසා රෝගය ආසාදනය වූවන් ද සිටින බව පැවැසෙයි.

චීනයේ හුබෙයි පළාතෙන් පැමිණෙන ඇමෙරිකානුවන් සිටින්නේ නම්, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමට ද ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇත.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ද නව කොරෝනා වයිරසය හේතුවෙන් හදිසි ගෝලීය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇමෙරිකාවේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අනුව යැයි සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS