ඇමෙරිකන් හමුදා ගැබොන් රාජ්‍යයට



ඇමෙරිකන් හමුදා බළඇණියක් අප්‍රිකාවේ ගැබොන් රාජ්‍යයට යවා සීරුවෙන් තැබීමට ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ගැබොන් රාජ්‍යයේ අසල්වැසියා වන්නේ කොංගෝ ජනරජයයි. කොංගෝ ජනරජයේ පසුගිය 30 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය පැවැත්වූයේ වසර දෙකක ප්‍රමාදයකින් ද පසුවය.

මැතිවරණය දූෂණ වංචාවලින් පිරුණු එක්ක යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් කොංගෝ මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති අතර, මේ වනවිට රටේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

කෙසේ නමුත් වසර 18 ක් තිස්සේ බලයේ රැඳී සිටින ජනාධිපති ජෝසප් කබීලා ප්‍රමුඛ රජය පවසන්නේ මැතිවරණ කටයුතු නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වුණු බවය.

හටගෙන ඇති නොසන්සුන්තාව දුරදිග යෑමේ අවදානමක් ඇති විය හැකි බවත් එසේ වුවහොත්, කොංගෝ ජනරජයේ සිටින ඇමෙරිකන් ජාතිකයන්ට ආරක්ෂාව වහා ලබා දිය යුතු බවත් පෙන්වා දෙමින් ජනාධිපති ට්‍රම්ප් අසල්වැසි ගැබොන් රාජ්‍යයට හමුදා යවා සීරුවෙන් තබා ඇත. ජනාධිපති ට්‍රම්ප් මේ බව කොංග්‍රස් මණ්ඩලයට ද දැනුම් දී තිබේ.

ගැබොන් රාජ්‍යයට යවා ඇති හමුදා බළඇණියට හමුදා සොල්දාදුවෝ 80 ක් අයත් වෙති. ඊට අමතරව, ප්‍රහාරක යාවා සහ හෙලිකොප්ටර් යානා ද අයත් වන බව පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS