ඇමෙරිකන් සම්බාධකවලට බය නෑ



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගත් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනපති මදුරෝ කියා සිටියේ තමා ඇමෙරිකාවේ සම්බාධකවලට බිය නොවන බවය.

ඇමෙරිකාව පැනැවූ එම සම්බාධක අනුව, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සතු ඇමෙරිකන් වත්කම්, ඇමෙරිකන් බැංකුවල ඇති මුදල් ආදී සියල්ල අත්හිටුවීමක් සිදුවෙයි. සම්බාධක හේතුවෙන් විදෙස් ගතවීමට ද මදුරෝට හැකියාවක් නොලැබෙනු ඇත.

ජනාධිපති මදුරෝට මෙසේ සම්බාධක පැනැවීම සිදු වූයේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභාවත් සෙනෙට් මණ්ඩලයත් එක් වී ඊට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවය. සම්බාධක පනවමින් ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපති හඳුන්වා දී ඇත්තේ ආඥාදායකයකු කියාය.

ඇමෙරිකාවේ සම්බාධක කෙරෙහි තමාගේ කිසිදු උනන්දුවක් නොමැති බවටත්, අතීතයේ මෙන් ඇමෙරිකාව වෙනිසියුලාවෙන් පළිගැනීමට උත්සාහ ගන්නා බවටත් වෙනිසියුලා ජනාධිපතිවරයා චෝදනා කරයි.

වෙනිසියුලාව මෙන්ම ජනපති නිකලස් මදුරෝ ප්‍රමුඛ රජය දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. විපක්ෂය දිගින් දිගටම බලපෑම් කරන්නේ වෙනිසියුලාවේ ජනපතිවරණයක් පැවැත් විය යුතුයි කියාය. මදුරෝ තරයේ පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක විපක්ෂයේ බලපෑම් මත ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS