ඇප ලැබෙනකල් සල්මාන් පොලිස් කූඩුවේ



දුර්ලභ ගණයේ ඇන්ටිලොප් මුවන් දෙදෙනකු මීට වසර 20 කට පෙර මරා දැමීමේ සිද්ධියට අදාළව පස් වසරක සිරදඬුවමක් නියම වුණු බොලිවුඞ් සුපිරි නළු සල්මාන් ඛාන් හෙට (7) අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එම අභියාචනාව ඉදිරිපත් කිරීමට සල්මාන් සූදානමින් සිටියේ අද (6) ය. කෙසේ නමුත් එය කල් ගියේය. එහෙයින්, සල්මාන් ඛාන් දින දෙකක් ජෝද්පූර් පොලිස් කූඩුවේ රැඳී සිටීමට සිදුවන බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ අදාල චෝදනාවට සල්මන්ට පස් වසරක සිර දඬුවමක් නියම කෙරුණේ ඊයේ (4) ය. 52 හැවිරිදි සල්මන් ඛාන් වරදකරු යැයි තීන්දු කළේ ජෝද්පූර් අධිකරණයකි.

සල්මාන් ඛාන් සුපිරි බොලිවුඞ් වීරයකු බවත්, බොහෝ තරුණ කොටස් ඔහු අනුකරණය කරන බවත්, ඔහුට දඬුවම් ලබා දීම හරහා පැහැදිලි පණිවුඩයක් සමාජයට යන බවත් විනිසුරුවරයා සිර දඬුවම නියම කරමින් කියා සිටියේය.

පස් වසරක සිර දඬුවමට අමතරව, සල්මාන් ඛාන්ට ඉන්දීය රුපියල් 10,000 ක දඬයක් ද නියම කෙරුණි. සල්මාන් ඛාන් ඉන්දීය රජය සංරක්ෂිත සත්වයකු ලෙස නම් කළ මෙම දුර්ලභ ඇන්ටිලොප් මුවන් ඝාතනය කළේ, 1998 වසරේ දී රාජස්ථානයේ ‘හම් සාත් සාත් හේ’ නමැති ජනප්‍රිය බොලිවුඞ් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ යැයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS