ආසාදිතයෝ දිනෙන් දින වැඩිවෙනවා



අඛණ්ඩව තෙවැනි දිනටත් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සෙනසුරාදා දිනයේදී වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව සෙනසුරාදා දිනයේදී පමණක් ලොව නන්දෙසින් වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 465,319 කි. ඉකුත් බ්‍රහස්පතින්දා (22) වයිරස ආසාදිතයන් 437,247ක් ද සිකුරාදා (23) වයිරස ආසාදිතයන් 449,720ක් ද වාර්තා වූයේ යැයි එම සංවිධානයේ දත්ත පෙන්වාදෙයි.

ඇතැම් රටවල් මේ වනවිට ‘‘භයානක මාර්ගයක’’ ගමන් කරමින් සිටින බවත් සැලකිය යුතු රටවල් සංඛ්‍යාවකින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩි වෙමින් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

සතිපතා ආසාදිතයන් වාර්තා වීමේ යම් රටාවක් පෙන්නුම් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි ද අඟහරුවාදා සහ බදාදා දිනවල ආසාදිතයන් වාර්තා වීමේ අඩුවීමක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට මේ වනවිට වාර්තා වන ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 42.3කි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ජීවිත අහිමි වී ඇති ගණන මිලියන 1.15ක් වන අතර සෙනසුරාදා දිනයේදී පමණක් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 6,570කි.

සෙනසුරාදා දිනයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ගණනක් වාර්තා වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයෙනි. එම ගණන යුරෝපා කලාපයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වන අතර එම ගණන 221,898කි.

මේ අනුව මේ වනවිට යුරෝපා කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන නමය ඉක්මවයි.

‘‘අපි තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම උතුරු අර්ධගෝලය’’ යැයි මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් සිකුරාදා පැවැසීය.

‘‘ඉදිරි මාස කිහිපය දුෂ්කරයි. ඉතාම තීරණාත්මකයි. ඒ වගේම අභියෝගාත්මකයි. ඒ වගේම ඇතැම් රටවල් යන්නේ භයානක මාර්ගයක. සැලකිය යුතු රටවල් ගොන්නකින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. අපි තාමත් ඉන්නේ ඔක්තෝබර් මාසයේ. රෝහල්වල සහ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගිහින්’’ යැයි හෙතෙම කීය.

අනවශ්‍ය ලෙස නව කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ලෝක නායකයන්ට අවධාරණය කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කඩා වැටීම වැළැක්වීමටත් නැවත වරක් පාසල් වසා දැමීමට සිදුවීම වැළැක්වීම සඳහාත් කඩිනම් පියවර ගන්නැයි ලෝක නායකයන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS