ආමේනියා අසර්බයිජාන ගැටුම් වහාම නවත්වන්න



පළමුවෙන් රුසියාවත්, ඉන්පසු ප්‍රංශයත් මැදිහත් වී, සටන් විරාසයක් සඳහා ආමේනියාව සහ අසර්බයිජානය කැමැති කරවාගෙන ඇතත්, දෙරට අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ආමේනියා සහ අසර්බයිජාන නායකයන්ට දැනුම් දුන්නේ ගැටුම් නවත්වා, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරමින්, වහාම සටන් විරාමයක් ආරම්භ කරන ලෙසය.

වෙනම රාජ්‍යයන් බවට පත්වී ඇතත්, ආමේනියාව සහ අසර්බයිජානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් පළාත් දෙකකි. දෙරට අතර ගැටුම් පවතින්නේ නගොර්නෝ කරබාක් නමැති පළාත මුල්කොට ගනිමිනි. මෙම පළාත අයත් වන්නේ අසර්බයිජානයට වුවත්, මෙහි ජීවත් වන බහුතරය ආමේනියානු වාර්ගික වැසියන්ය.

මේ වනවිට දෙරට අතර හුවමාරු වන කාලතුවක්කු සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය ගණන දහසකට ආසන්නය. මියගිය 710 කු දෙරටේ හමුදා සොල්දාදුවන් බව පැවැසෙයි. ඊයේ (18) ආමේනියානු ගුවන් හමුදාවට අයත් එස්යූ 25 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් පහර දී බිම හෙළීමට අසර්බයිජාන හමුදාව සමත් විය.

දරුණු ගැටුම් පවතින්නේ නගොර්නෝ කරබාක් පළාතේ ගන්ජා නමැති නගරය මුල්කොට ගනිමිනි. පසුගිය 17 වැනිදා ගන්ජා නගරයේ සිවිල් වැසියෝ 13 දෙනෙක් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූහ. නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ විය.

ආමේනියාවට සහාය දක්වන රටවල් වන්නේ ප්‍රංශය සහ රුසියාවය. අසර්බයිජානයට සහාය දක්වන්නේ තුර්කියයි. රුසියාව සහ ප්‍රංශය සාම සැලැස්මක් හඳුන්වා දෙනු ලැබුවේ ආමේනියාවට ආයුධ ලබා දෙමින් යැයි තුර්කිය චෝදනා කරයි.

ගන්ජා නගරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS