අවි ගබඩාවේ පිපිරුමෙන් 98 ක් මරුට



මධ්‍යම අප්‍රිකා රාජ්‍යයක් වන එක්වටෝරියල් ගිනී රාජ්‍යයේ, හමුදා කඳවුරක අවි ගබඩාවක් පුපුරා යෑමෙන්, මියගිය ගණන 98 තෙක් ඉහළ ගොස් තිබේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 500 ඉක්මවයි.

පිපිරීම සිදුවූයේ ගිනී, ප්‍රධාන වෙළෙඳ නගරය වන, බාටා හි පිහිටි කෝආ ටෝමා හමුදා කඳවුරේය. පිපිරීමත් සමඟ කඳවුරට ඔබ්බෙන් මීටර් සිය ගණනක් දුරට ඇති නිවාස සහ ගොඩනැගිලි ද බිමට සමතලා වූ බව ගිනි ගිනී පුවත් සේවා වාර්තා කර තිබේ.

බිමට සමතලා වූ නිවාසවල නිවැසියන් බොහොමයක් සුන්බුන් තට්ටු අතරේ සිරවී සිටින බවත්, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ජනාධිපති තියේදෝරෝ ගුවෙර්මා පවසා ඇත. ජනාධිපති තියේදෝරෝ ගුවෙර්මා ගිනී  ජනාධිපති ධුරය හොබවන්නේ වසර 42 ක් තිස්සේය. ගිනී  උප ජනාධිපති ලෙස කටයුතු කරන්නේත් ආරක්ෂක ඇමැති ධුරය හොබවන්නේත් තියේදෝරෝ ගුවෙර්මාගේ පුත්‍රයාය. මොහුගේ ආරක්ෂාවට සිටින්නේ ඊශ්‍රායල කුලී හේවායන් කණ්ඩායමකි.

ගිනී ගොවීන් කඳවුරට ඔබ්බෙන් පිහිටි භූමිය වගා කටයුතු සඳහා ගිනි තැබූ බවත්, එම ගින්න කඳවුරේ අවි ගබඩාව තෙක් පැතිර ගොස් පිපිරීම් සිදුවුණු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අවි ගබඩාවේ පුපුරණ ද්‍රව්‍ය නිසි ආකාරයට ආරක්ෂිතව ගබඩා කළ නොතිබුණු බැවින්, ගින්නත් සමඟ ක්ෂණිකව පිපිරීම් සිදුවුණු බව පැවැසෙයි. පිපිරීමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මධ්‍යම අප්‍රිකාවේ තෙල් සහ වායුවලින් පොහොසත් රාජ්‍යයක ලෙස ගිනී සැලකෙයි. කෙසේ නමුත්, ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හමුවේ, ගිනියාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බව ද වාර්තා වේ. ගිනියාවේ ජනගහනය මිලියන 1.4 ක් වන අතර, බාටා නුවර ලක්ෂ 8 කට ආසන්න පිරිසක් වාසය කරති.

ගිනී රාජ්‍යය අතීතයේ ස්පාඤ්ඤ යටත් විජිතයක් වී තිබුණි. ගිනියාවත් ස්පාඤ්ඤයත් අතර යහපත් සබඳතා පවතින අතර, ස්පාඤ්ඤය මලාබෝ අගනුවර ඔවුන්ගේ තානාපති කාර්යාලය හරහා බාටා නුවර සිටින ස්පාඤඤ වැසියන්ට දන්වා ඇත්තේ නිවෙස්වලට වී ආරක්ෂා වන ලෙසය.

මලාබෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS