අවසන් කටයුතු සිදුවෙද්දී ගොල්ෆ් සෙල්ලම් කරලා



රිපබ්ලිකන් සෙනෙට් සභික අභාවප‍්‍රාප්ත ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු පසුගිය 1 වැනිදා වොෂින්ටන් අගනුවරදී පැවැත්වුණේ ඔහුගේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේත් ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන්ගේත් ප‍්‍රධානත්වයෙනි.

2008 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ මැකේන්ය. කෙසේ නමුත්, ඔහු ඩිමොක‍්‍රටික් පාක්ෂික බැරැුක් ඔබාමාට පරාජයට විය. අවමංගල අවස්ථාවට ඔබාමා සහ බිරිඳ මිෂෙල් ද සහභාගී වූවා පමණක් නොව, මැකේන්ගේ ගුණ ගයමින් හිටපු ජනාධිපති ඔබාමා විශේෂ කතාවක් ද පැවැත්වීය. එය ඇමෙරිකන් දේශපාලන ක්ෂේත‍්‍රයේ මහත් සේ කතාබහට ලක් විය.

වොෂින්ටන් අගනුවර අවමංගල කටයුතු මෙසේ සිදුවෙද්දී, වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊට සහභාගී වූයේ නැත. වර්ජීනියා ජනපදයේ ස්ටර්ලිංග්හි පිහිටි ගොල්ෆ් කී‍්‍රඩාංගනයට ගොස් විවේකීවය ගොල්ෆ් කී‍්‍රඩාවේ නියැලූණේය. ට‍්‍රම්ප් සහ මැකේන් අතර හිතවත්කම් පළුදු වී තිබීම ඊට හේතුවය. අවමංගල කටයුතු සඳහා ට‍්‍රම්ප් සහභාගී නොවීම බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර ජෝන් මැකේන්ගේ අභාවයෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට වැඩි වාසි අත්වී ඇතැයි ඇමෙරිකන් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

රිපබ්ලිකන් පක්ෂය හරහා ට‍්‍රම්ප්ගේ තීන්දු සහ තීරණ විවේචනය කළ එකම ප‍්‍රබල චරිතය වූයේ ද මැකේන්ය. ට‍්‍රම්ප්ට එරෙහිව මැකේන් ගත් තීරණ සෙසු රිපබ්ලිකන් පාක්ෂිකයෝ පවා අනුමත කළහ. මැකේන්ගේ සමු ගැනීමත් සමඟ මේ වනවිට ට‍්‍රම්ප්ට නොබියව විරෝධය දැක්වීමට කිසිවකුවත් නොමැති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට‍්‍රම්ප් සහ මැකේන් අතරේ මත ගැටුම් පැවැතිණි. මැකේන් අභාවප‍්‍රාප්ත වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, මොළයේ පිළිකා ගෙඩියක් හේතුවෙන් වසරකට ආසන්න කාලයක් රෝගීව සිටීමෙන් පසුවය. ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට සම්බන්ධ වුණු හමුදා සොල්දාදුවකු පමණක් නොව, කීර්තිමත් දේශපාලනඥයෙකි.

මැකේන්ගේ අභාවය හේතුවෙන් ධවල මන්දිරයේ ඇමෙරිකන් ධජය අඩකුඹු කිරීම පවා ට‍්‍රම්ප් ප‍්‍රතික්ෂේප කර තිබුණු අතර, ඔහු එසේ කිරීමට අණ කළේ අවසන් මොහොතේ යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS