අවශ්‍ය නම් චීන - ඇමෙරිකා සබඳතා නවත්වන්න සූදානම් - ඩොනල්ඩ් ට්‍රම්ප්



 (රොයිටර්)
චීනය ඇමෙරිකාව සමඟ වර්තමානයේ පවත්නා ගිවිසුම් අලුත් කිරීමට අකැමැති නම් දශක හතරක් පැරැණි චීන-ඇමෙරිකා සබඳතා නවතා දැමීමට තමා සූදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 
දැනට පවතින ‘එක චීනයක්’ ප්‍රතිපත්තියට අනුව තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගන්නා අතර එවැනි ප්‍රතිපත්තියක් අවශ්‍ය නැතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆොක්ස් රූපවාහිනි නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම කරුණු කීවේය. 
මෙම මතභේදාත්මක තත්ත්වය ඇතිවූයේ දෙසැම්බර් දෙවැනිදා ඩොනල්ඞ් ට්‍රම්ප් තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් සමඟ දුරකතන සංවාදයක යෙදීමත් සමඟය.
“මම “එක චීනයක්” ප්‍රතිපත්තිය ගැන දන්නවා. එහෙත් ඒ මත යැපෙමින් කටයුතු කිරීම මට තේරුම් ගන්න බැහැ. අපි වෙළඳාම ඇතුළු අනෙක් දේවල් සම්බන්ධයෙන් චීනය සමඟ ගිවිසුම් ඇති කරගත යුතුයි” ට්‍රම්ප් කීවේය.
තායිවානය “එක චීනයක” කොටසක් ලෙස සලකමින් ඇමෙරිකාව තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමුවේ 1979 වසරේදීය. ඒ අනුව එතැන් පටන් චීනය ලෙස සලකන ලද්දේ කොමියුනිස්ට් පාලනයක් සහිත බීජිං අගනුවර කරගත් චීනයයි. ඒ එවකට සිටි ජනාධිපති ජිමි කාටර්ගේ පාලනය යටතේය. එතැන් පටන් කිසිදු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු හෝ තේරී පත්වූ ජනාධිපතිවරයකු හෝ තායිවානය හෝ එරට නායකයකු හෝ සමඟ සෘජු සබඳතා පවත්වා නැත. 
බීජිං අගනුවර කරගත් චීනය තායිවානය චීනයට ද්‍රෝහී පළාතක් ලෙස සලකන අතර චීනයට ඉතා සංවේදී මාතෘකාවක් ලෙස ද සලකයි. 
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශත් සමඟ චීනය කෝපයට පත්ව ඇතැයි ද එරට පුවත් සේවා රැසක් එම ප්‍රකාශ සම්බන්ධයෙන් දෝෂරෝපණ කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. 
උතුරු කොරියාව සම්බන්ධයෙන් හෝ දකුණු චීන මුහුද සම්බන්ධ අර්බුදවලදී චීනය ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවත් ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය. 
“චීනය මට අණ දිය යුතු නැහැ. තායිවාන ජනාධිපතිනිය සමඟ සාර්ථක සංවාදයක යෙදීමට මට අවස්ථාව ලැබුණා. ඇයි වෙනත් රටක් මට දුරකතන ඇමතුම් ගන්න බැහැ කියන්නේ” යැයි ට්‍රම්ප් එහිදි විමසා සිටියේය. 
“වෙනත් රටක් මගේ දුරකතන ඇමතුම් ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම හා තීරණ ගැනීම කනගාටුවට කරුණක්. එය ගෞරවාන්විත නැහැ” යැයි ද ඔහු කීවේය. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සඳහා රුසියානු හැකර්කරුවන් සහයෝගය දුන් සී.අයි.ඒ සංවිධානය අනාවරණය කරගෙන ඇතැයි පැවැසෙන පුවත් ද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රතික්ෂේප කළේය.

RECOMMEND POSTS