අලුත් වික්‍රමයකට සූදානම්



ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වය ගවේෂණයට යැවූ ‘නිව් හොරයිසන්’ නමැති රොබෝ යානය, කුයිපර් ග්‍රහ වළල්ලේ පිහිටි අල්ටිමා තූලේ නමැති ග්‍රහ වස්තුව ගවේෂණය සූදානම් වෙයි.

අල්ටිමා තූලේ යනුවෙන් හැඳින්වෙන මෙම ග්‍රහ වස්තුවේ විශ්කම්භය කිලෝ මීටර් 30 කි. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහ වස්තුව විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘2014 එම්.යූ. 69 කියාය.

නිව් හොරයිසන් යානය හෙට (1) මෙම ග්‍රහ වස්තුව අසලින් ගමන් කරමින් ඡායාරූප ගැනීම සිදු කරනු ඇත. මෙහෙයුම සාර්ථක වුවහොත්, නාසා ගවේෂණ යානයක් සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවර පිහිටි ග්‍රහ වස්තුවක් ගවේෂණය කරන පළමු අවස්ථාව මෙය වනු ඇත.

සෞරග්‍රහ මණ්ඩලය බිහිවෙද්දී, නිර්මාණය වූ ග්‍රහ වස්තුවක් ලෙස නාසා විද්‍යාඥයන් අල්ටිමා තූලේ හඳුන්වා දී ඇත. අල්ටිමා තූලේ ගවේෂණය මගින් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය නිව් හොරයිසන් යානය අභ්‍යවකාශයට යවනු ලැබුවේ 2006 ජනවාරියේය. නිව් හොරයිසන් යානය සෞරග්‍රහ මණ්ඩලය කෙළවර, කිලෝ මීටර් බිලියන 5 ක් දුරින් පිහිටි කුරු ග්‍රහයා වන ප්ලූටෝ ගවේෂණය සිදු කළේ 2015 ජූලි මාසයේදීය. කුයිපර් ග්‍රහ වළල්ලේ පිහිටි අල්ටිමා තූලේ ග්‍රහ වස්තුව පිහිටා ඇත්තේ කිලෝ මීටර් බිලියන 6.5 ක් දුරිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS