අර්බුද විසඳීමේදී බෝල්ටන් හරස් වුණා



ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ කටයුතු කළ ජෝන් බෝල්ටන්, එම ධුරයෙන් නෙරපීමට තමන් පියවර ගත්තේ ඔහු අනවශ්‍ය ලෙස උතුරු කොරියා අර්බුදයටත් වෙනිසියුලා අර්බුදයටත් මැදිහත් වූ නිසා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, බෝල්ටන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

න්‍යෂ්ටික අවිහරණයට පොරොන්දු වී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාම මාවතට ගෙන ඒමට තමන් කටයුතු කළ නමුත්, බෝල්ටන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා එම සාම කතා නිසි ලෙස පැවැත්වීම කළ නොහැකි වූ බව ජනපති ට්‍රම්ප් කියයි.

ජාතික ආරක්ෂක උපදේශක ලෙස ට්‍රම්ප්ගේ අනුදැනුමකින් තොරව, එක් අවස්ථාවක බෝල්ටන් කියා සිටියේ, උතුරු කොරියාවට ‘ලිබියා මොඩලය’ ආදේශ කරන බවය.

‘ලිබියා මොඩලය’ යනු ඇමෙරිකාව ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සම්බන්ධයෙන් ගත් ක්‍රියාපටිපාටියයි. ලිබියාවේ ජනතාව ගඩාෆිට එරෙහිව උසි ගන්වමින්, අවසානයේ දී, ගඩාෆි ඝාතනය වූයේ ‘ලිබියා මොඩලය’ හේතුවෙනි.

ජගත් ආරක්ෂක ලේකම් බෝල්ටන් කළ මෙම ප්‍රකාශය හේතුවෙන්, සාම කතාවලින් ඉවත් වන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකාවට තර්ජනය කළේය.

සාම කතා දිගටම පැවැත්වීම කළ යුතු නම් බෝල්ටන් ඊට සම්බන්ධ කර ගැනීමෙන් වළකින්නැයි ද උතුරු කොරියා නියෝජිතයෝ ඇමෙරිකාවට දන්වා සිටියහ. උතුරු කොරියානුවන් බෝල්ටන් හඳුන්වා දී ඇත්තේ ‘යුද මානසිකත්වයකින්’ පෙළෙන අයකු ලෙසය.

බෝල්ටන්ගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වුණු ජාතික ආරක්ෂක උපදේශක ධුරය සඳහා සුදුස්සන් පස් දෙනකු කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවත්, ඔවුන් අතරින් කෙනෙකු එම ධුරයට නම් කිරීම ලබන සතියේ සිදු කරන බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS