9/11 ප්‍රහාරයට අවුරුදු 18 යි



2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකට සහ ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයට අල් කයිඩා ත්‍රස්තයන් මගී ගුවන් යානා යොදා ගනිමින් පහර දී වසර 18 ක් සපීරේ.

අල් කයිඩා ත්‍රස්තයෝ මෙම ප්‍රහාරයට මගී ගුවන් යානා හතරක් පැහැර ගත්හ. යානා තුනක් අවශ්‍ය ඉලක්ක වෙතට කඩා වැදුණත් මගීන් මැදිහත් වී යානය පැහැර ගනු ලැබූ ත්‍රස්තවාදීන්ට අභියෝග කළ බැවින් සිවුවැනි යානය වගා බිමකට කඩා වැටී විනාශ විය.

9/11 යන කෙටි නමින් හැඳින්වෙන මෙම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාවේ අඳුරු දිනයක් ලෙස සැලකෙයි. ප්‍රහාරවලින් මියගිය ගණන 3,000 කට වැඩිය. තුවාල ලැබූ ගණන 6,000 කි.

එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල කෙරුණේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ සැලැස්මකටය අනුවය.

අල් කයිඩා නායකයා එම ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානය ගොස් සැඟවිණි. තලේබාන් පාලනය පෙරළා ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඉන්පසුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS