2100 දී පෘථිවියට ආක්‍රමණයක්



මිනිස් ක්‍රියාකාරකම් හේතු​වෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස, වසර 2100 වෙද්දී නිල්වන් මැණික් කැටයක් සේ අභ්‍යවකාශයේ දිස්වන අප පෘථිවිය, තද කොළ පැහැයක් ගනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ද සන් වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වෙයි.

නිල් වර්ණයෙන් දිදුළන පෘථිවිය, මේ අයුරින් කොළ වර්ණයට පරිවර්තනය වනු ඇත්තේ, පෘථිවිවය් සාගර කොළ පැහැයක් ගැනීම නිසාය. පෘථිවියෙන් සියයට 70 ක් ඇත්තේ සාගරය. සාගර වර්ණය වෙනස් වන්නේ ඉතා කුඩා සාගර ජීවීන් විශේෂයක් නිසාය. මේ ජීවීන් ඇල්ගී විශේෂයකි. මොවුන් හැඳින්වෙන්නේ ‘ප්ලාවාංග’ යන නමිනි.

මේ ප්ලාවාංග ලොව පුරා සාගරවල දකින්න ලැබේ. උණුසුමින් පිරුණු නිවර්තන සාගර කලාපයේ ජීවත් වන්නේ නිල් පැහැති ප්ලාවාංග විශේෂයක් වන අතර ධ්‍රැව ආසන්නයේ සාගරවල ජීවත් වන්නේ කොළ පැහැති ප්ලාවංග විශේෂයකි.

ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුකොට ගනිමින්, නිවර්තන කලාපයට අයත් සාගරයේ ජීවත් වන නිල් ප්ලාවාංග මියයෑම සිදුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ධ්‍රැව ආශ්‍රිත කොළ පැහැති ප්ලාවාංග සෙසු සාගර වෙත පැතිරීමට පටන් ගනී.

මේ ප්ලාවාංග කොළ වර්ණය පිට කරයි. ඒ අනුව, උඩු ගුවනේ සිට හෝ බලද්දී, ලොව සියලුම සාගර, මුහුදු, ගංගා ඇළදොළ, වැව්​ පොකුණු ආදිය කොළ පැහැයෙන් දිස්වනු ඇත. අභ්‍යවකාශයට ගොස් පෘථිවිය දෙස බැලුවොත් පෘථිවිය කොළ පැහැයෙන් දිස්වනු ඇත.

සාගර ජීවීන් බොහොමයකගේ ආහාරය වන්නේ මේ ප්ලාවංගය. ප්ලාවාංග අධික ලෙස බෝවීම ඒ අනුව පාලනය වෙයි. ප්ලාවාංග විශේෂ කිහිපයක් සාගරයේ ජීවත් වන නිසා සමබරතාවක් ද පවතී. ගෝලීය උණුසුම හේතුවෙන් නිල් ප්ලාවාංග විනාශ​ වී, කොළ පැහැති ප්ලාවාංග වැඩියෙන් පැතිරෙන්න පටන් ගැනීම උග්‍ර පරිසර අර්බුදයක් වනු ඇත අතර, අධික ලෙස පැතිරී යන කොළ පැහැති ප්ලාවාංග සාගර ජීවීන්ට අහිතකර වෙයි. ඒවා සාගරය විනාශ කිරීමට ද සමත් වනු ඇතැයි බිය පළ කෙරේ.

‘මේක සුළුවෙන් තකන්න බැහැ. බොහොම බරපතල තත්ත්වයක්. මේ කුඩා ඇල්ගී හේතුවෙන් පෘථිවියේ පරිසර පද්ධති මුළුමනින්ම අවුල් වේවි. අවසානයේදී මිනිසා ඇතුළු පෘථිවි ජීවීන්ගේ අවසානය පවා තීරණය කිරීමට මෙම කුඩා ඇල්ගේ විශේෂයට හැකිවේවි’ යැයි ඇමෙරිකාවේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆනී ඩුඩ්කිවිට්ස් පැහැදිලි කරයි. බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය ඔවුන්ගේ මෙම වාර්තාව සකස් කර ඇත්තේ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ සහ සාගර ජීව විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණ පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

(ද සන් වෙබ් අඩවිය ඇසුරිනි)


RECOMMEND POSTS