මියන්මාර ගුවන් යානය රෝද නැතිව බාලා



මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යෑමේදී ඉදිරිපස රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අතර, යානයේ ගමන් කළ මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට හෝ කිසිදු අනතුරක් නොවන අයුරින් යානය ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.

ඇබැද්දියට මුහුණ දුන්නේ ‘එම්බ්‍රේරර් 190’ මගී යානයයි යානය අභ්‍යන්තර ගුවන් යානයක් විය. එහි මගීන් 89 දෙනෙක් සිටියහ.

යානයේ ප්‍රධාන නියමුවා මයාත් මෝ අවුන්ග්ට යානය මැන්ඩලේ ගුවන් තොටුපොළය ගොඩබෑමට පහත් කරද්දී, ඉදිරිපස රෝද යුගලය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් එය සිරවී ඇති බවත් වැටහිණි. වහාම යානය යළි ඉහළට ගෙන වට කිහිපයක් ගුවන්තොටුපොළට ඉහළින් කරකවමින්, නියමුවා කළ යුත්තේ කුමක්දැයි කල්පනා කර ඇත.

යානය මැන්ඩලේ නුවර බලා පැමිණියේ යැංගොන් සිටය. යානය කෙසේ හෝ ගුවන්තොටුපොළට ගොඩබෑම කළ යුතු විය. ඒ අනුව, හටගත් දෝෂය ගුවන්තොටුපොළ බලධාරීන්ට දැන්වීමට නියමුවා පියවර ගත්තේය.

ගුවන් පථයට ගිනිනිවන ට්‍රක් රථ සහ ගිලන් රථ වහා කැඳවීම සිදුවිය. හමුදා සොල්දාදුවෝ සීරුවෙන් සිටියහ.
සිදුවී ඇති අකරතැබ්බ මගීන්ට දැනුම් දීමෙන් පසු යානය ධාවන පථයට පතිත කිරීම සිදුවිය. ඉදිරිපස රෝද යුගල නොමැති නිසා යානය ලිස්සා ගොස් බාධකයක ගැටී නැවැතිනි.

මහත් සේ බියට පත් වී සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සැවොම නිරුපද්‍රිතව පිටතට පැමිණි බවත්, ඔවුන් සැවොම ප්‍රධාන නියමුවාට ස්තුති කළ බවත් පසුව දැනගන්න ලැබුණි. යානය අනතුරට පත්වීමට ඉඩ නොතබා, මගීන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලය බේරා ගත් නියමුවා මයාත් මෝ අවුන්ග්ට මියන්මාර රජයෙන් ද පැසැසුම් ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS

RELATED POSTS