මැතිවරණයකට යෑමට ගත් දෙවැනි උත්සාහයත් වරදී



හදිසි මැතිවරණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යළිත් වරක් උත්සාහ කළ නමුත් එම උත්සාහය ද අසාර්ථක විය. ඒ, ඔහුගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විරෝධය එල්ලවීම හේතුවෙනි.

බි‍්‍රතාන්‍ය දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මුල්කොට ගනිමිනි. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීම ලබන ඔක්තෝබර් 31 වැනිදාට පෙර කළ යුතුව ඇත.

පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා මෙන්ම බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ද වන බොරිස් ජොන්සන් උත්සාහ කළේ ගිවිසුමකින් තොරව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය.
ගිවිසුමකින් තොරව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම මහා බි‍්‍රතාන්‍යයට අවාසිදායකය. අගමැති ජොන්සන්ගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් මෙන්ම විපක්ෂ නායක ජෙරමි කෝර්බින්ගේ කම්කරු පක්ෂයෙන් ද එම යෝජනාවට විරෝධය එල්ල විය.

අගමැති ජොන්සන් ඔක්තෝබරයේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරමින් එම යෝජනාව ඉකුත් සතියේ පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉන්පසුවය. එම අවස්ථාවේදී අගමැතිවරයාගේ යෝජනාව පරාජය විය.

මේ අතර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් සාමි මන්තී‍්‍ර මණ්ඩලය උත්සාහ ගනිමින් සිටින්නේ, මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය 2020 වසර තෙක් ප‍්‍රමාද කිරීමට අධිකරණයේ සහාය ලබා ගැනීමටය. ඒ, යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් ඇති කර ගනිමින් මහා බි‍්‍රතාන්‍යය ඉවත් කර ගැනීමට අගමැති ජොන්සන්ට ඉඩ සලසා දෙමිණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS

RELATED POSTS