පාකිස්තන විපක්ෂයෙන් විරෝධතා



පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට තුළ විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ පක්ෂ එකතුවෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර එහි ආරම්භය සනිටුවහන් කරමින් විපක්ෂ ක්‍රියාකාරීහු දස දහස් ගණනක් ගුජ්වන්වාලා නුවර ක්‍රීඩාංගනයකට එක් රැස්වූහ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ. අවසන් වරට පැවැති මහ මැතිවරණයේදී වංචාවක් කරමින් ඉම්රාන් ඛාන් බලයට පත්වූයේ යැයි ද ඊට හමුදාවේ සහාය හිමිවූයේ යැයි ද විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි.

විපක්ෂයේ පක්ෂ නවයක් එක්ව මෙම ඒකාබද්ධ සන්ධානය නිර්මාණය කර තිබෙන අතර ‘පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය’ යනුවෙන් එම සන්ධානය නම් කර තිබේ. පසුගිය මාසයේදී මෙම ව්‍යාපාරයේ මූලිකත්වයෙන් රටපුරා ආණ්ඩු විරෝධී විරෝධතා ආරම්භ විය.

දූෂණයට එරෙහිව කටයුතු කරන බවට පොරොන්දු දෙමින් ඉම්රාන් ඛන් අවසන් වරට පාකිස්තානයේ පැවැති මහ මැතිවරණයෙන් ජය ලබමින් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

තමන් හමුදාවේ රූකඩයක් යනුවෙන් පවසමින් එල්ල වන චෝදනාව ඇතුළු අනෙක් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ඉම්රාන් ඛාන් පැවැසීය. තමන් විපක්ෂයට බිය නැතැයි ද විපක්ෂයේ නායකයන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා ඉවත් කරගැනීමේ අරමුණින් මෙලෙස විපක්ෂයේ කණ්ඩායම් තමන්ට තර්ජනය කරන්නේ යැයි ද හෙතෙම කීය.

‘‘අපි මේ පාරට ඇවිත් ඉන්නේ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්’’ යැයි හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ප්‍රකාශ කළාය. ඇය එස්.යූ.වී රථයකට නැග ගමන් කරමින් ඒ බව පැවසුවාය. ඇය ගමන් කරන විටදී රෝස පෙති ඇය දෙසට වීසි කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇය ගුජ්වන්වාලා සිට ලාහෝරය දක්වා ගමන් කළාය.

‘‘අපේ අරගලය අසාධාරණය, විරැකියාව සහ ඉහළ ජීවන වියදමට එරෙහිව’’ යැයි ද ඇය කීවාය.

පාකිස්තානයේ ප්‍රධානය විපක්ෂය වන්නේ නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය – නවාස් (පී.එම්.එල්.-එන්) පක්ෂයයි.

ෂරීෆ් අඛණ්ඩව පාකිස්තාන හමුදාව විවේචනය කළ අයෙකි. දූෂණ චෝදනා හේතුවෙන් 2017 වසරේදී පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දැරිය නොහැකි යැයි නියෝග කළේය. හෙතෙම පසුගිය නොවැම්බර් මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩනය බලා පිටත්ව ගියේය. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල වූයේ යැයි ද ඒ පසුපස හමුදා ජෙනරාල්වරුන් සහ විනිසුරුවරුන් සිටින්නේ යැයි ද හෙතෙම චෝදනා කරයි.

පාකිස්තානයේ හමුදාව ඉතා බලවත් ය. ඔවුන් දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසන්නේ යැයි ඇතැම් පාර්ශව චෝදනා කරයි. කෙසේ නමුත් පාකිස්තාන හමුදාව එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

මේ විරෝධතා පැවැත්වෙන්නේ පාකිස්තානය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතකය. පාකිස්තානයේ උද්ධමනය දෙකේ ඉලක්කමට ආසන්න වී තිබෙන අතර ආර්ථික වර්ධනය ඍණ අගයක් ගෙන තිබේ.

පාකිස්තානයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ දී ය.

රොයිටර්


RECOMMEND POSTS

RELATED POSTS