පර්වේස් මුෂාරෆ් යළි දේශපාලනයට



තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන බව පාකිස්තානයේ හිටපු හමුදා පාලක විශ්‍රාමික ජනරාල් පර්වේස් මුෂාරෆ් පවසා ඇත.

2016 වසරේ සිට, මුෂාරෆ් ජීවත් වන්නේ ඩුබායි කේන්ද්‍රකොට ගනිමිනි. 76 හැවිරිදි මුෂාරෆ් ‘සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ සභාපති ධුරය හොබවයි. වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ ඩුබායි සිට, මුෂාරෆ් ඉස්ලාමාබාද් අගනුවර සිටින පක්ෂ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ඇමතුවේය.

තමන් යළි දේශපාලනයට පිවිසෙන බවත්, ඉදිරි මැතිවරණවලදී අගමැති ධුරය වෙනුවෙන් තරග වදින බවත් මුෂාරෆ් පැවැසීය. කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් මුෂාරෆ් අදහස් දැක්වීය.

ඉන්දීය කාශ්මීරය, මුස්ලිම් කාශ්මීරයේ කොටසක් බවත් ඉන්දු කාශ්මීර වැසියන්ට අසාධාරණයක් සිදුවන්නේ නම්, පාකිස්තාන රජය එම වැසියන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් මුෂාරෆ් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

හමුදාපති ලෙස මුෂාරෆ්, හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවා කිසිදු ලේ වැගිරීමකින් තොරව, පාකිස්තානයේ බලය අතට ගත්තේ 1999 දීය. 2008 වසර තෙක් පාකිස්තානයට නායකත්වය දීමට මුෂාරෆ්ට හැකිවිය. බෙනාසීර් බූතෝ ඝාතන සිදුවීමටත්, රතු පල්ලියේ ආගමික නායකයන් ඝාතනය කිරීමේ සිදුවීමටත් මුෂාරෆ්ගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා එල්ල වූ අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් ද නඩු විභාග පැවැත්විණි. 2007 දී ව්‍යවස්ථාව අත්හිටුවීමට නියෝග කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නවාස් ෂරීෆ්ට එරෙහිව නඩු විභාගයක් ද පැවැත්වෙයි.  

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS

RELATED POSTS