කිම් ජොන් උන්-ට්‍රම්ප් හමුව හැනොයි නුවරදී



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්වෙනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

මේ බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපතිවරයාය. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ය. හමුව පැවැත්වීමට වියට්නාමය සහ හැනොයි අගනුවර තෝරා ගත්තේ, සාමය ස්ථාපිත කිරීමට ඊට වඩා සුදුසු තැනක් නැති නිසා යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇමෙරිකාව සම්බන්ධ වූ වියට්නාම යුද්ධය පැවැතියේ 1965 වසරේ සිට 1973 දක්වාය. එදා කොමියුනිසිට්වාදී උතුරු වියට්නාමයේ අනුවර වූයේ ද හැනොයි නුවරය. ඇමෙරිකානුවන් මෙය ‘වියට්නාම යුද්ධය’ යනුවෙන් හැඳින්වුවත්, වියට්නාමය එම යුද්ධය හඳුන්වන්නේ ‘ඇමෙරිකන් යුද්ධය’ යන නමිනි. යුද්ධය අවසන් වූයේ ඇමෙරිකාවට දරුණු පරාජයක් ද අත්වෙමිනි.

අවසානයේ දී කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස ඇමෙරිකාවේ ද සහාය ඇතිව, ආර්ථිකමය වශයෙන් නැගීසිටීමට වියට්නාමය කටයුතු කළේය. අද වියට්නාමය ඇමෙරිකාවේ මිතුරෙකි. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ උතුරු කොරියාවට සහ නායක කිම් ජොන් උන්ට වියට්නාමයෙන් උගත හැකි පාඩම් බොහොමයක් ඇති බවය.
කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් හමුව 27 සහ 28 වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත බව ට්‍රම්ප් පැවසුවත්, හමුව පැවැත්වෙන ස්ථානය මීට පෙර අනාවරණය කර නොතිබුණි.

නායක කිම් ජොන් උන් සහ ජනාධිපති ට්‍රම්ප් අතර පළමු හමුව පැවැත්වූයේ පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේදීය. මෙවර හමුව සඳහා අනුග්‍රහය දැක්වීම සිදු කරන්නේ වියට්නාමයයි. හමුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද වියට්නාම රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS

RELATED POSTS