සූ කීගේ ප්‍රධාන සහායක අත්අඩංගුවට



නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රධාන සහායක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ද වන වින් හිටියැං ඊයේ (5) පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලිස් නිලධාරීන් පැමිණ වින් හිටියැං අත්අඩංගුවට ගෙන යැංගොන් නුවර සිට නායිපායිදේව් අගනුවරට රැගෙන යන අවස්ථාවේදී 79 හැවිරිදි වින් හිටියැං, රොයිටර් මාධ්‍යවේදියකුට ඇමතුමක් දී පොලිසිය තමන් අත්අඩංගුවට ගත් බව දැනුම් දී තිබේ. පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ චෝදනා කිසිවක් ඉදිරිපත් නොකරමින් යැයි ද වින් හිටියැං පවසා ඇත.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය 1 වැනිදාය. ඒ, හමුදාවට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම්, පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැති මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

මහ මැතිවරණයෙන් අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. කෙසේ නමුත් මැතිවරණය දූෂිත යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන්ම හමුදාව ද චෝදනා නගන්න විය.

පසුගිය පළමු වැනිදා පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව තිබුණු අතර, හමුදාව ක්‍රියාත්මක වී, අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ පක්ෂයේ නායකන්, මැතිවරණ බලධාරීන්, සිවිල් ක්‍රියාකාරීන් 44 දෙනකු අත්අඩංගුවට ගත්තේය.

අනවසර ආකාරයට සන්නිවේදන උපකරණ නිවසේ ගත්තේ යැයි  අත්අඩංගුවට ගත් සූ කී ට පොලිසිය චෝදනා ඉදිරිපත් කර තිබේ. මියන්මාරයේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කර ඇති අතර පුවත්පත් මුද්‍රණය සිදුවන්නේ ද නැතැයි වාර්තා වේ. හමුදාවට සහාය පළ කරන පුවත්පත් කීපයක් සහ රූපවාහිනී නාළිකාවක් පමණක් ක්‍රියාත්මක වෙයි.

සූ කී ඇතුළු අත්අඩංගුවේ පසුවන සියලු දෙනා වහා නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යළිත් වරක් මියන්මාර හමුදා නායකයන්ට බල කර ඇත. ජෝ බයිඩන් සූදානමින් සිටින්නේ හමුදා නායකයන්ට එරෙහිව සම්බාධක පැනැවීමටය. මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු සිය අප්‍රසාදය පළ කර ඇත.

මියන්මාර වැසියෝ ද සූ කී ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන්නැයි හමුදා පාලකයන්ට බල කරමින් විරෝධතා පවත්වති. ඊයේ (5) විශ්ව විද්‍යාල සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවක සේවිකාවෝ හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා පැවැත්වූහ.

යැංගොන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS