ස්වාධීන විමර්ශනයක් ඕනෑ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමට වූහාන් නුවරට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායම එළිදැක්වූ වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, වයිරසයේ සුලමුල සෙවීමට ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බවත් බයිඩන් පරිපාලනය පවසයි.

‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම ගැන හෝ ඔවුන්ගේ වාර්තාවක ගැන හෝ අප අවතක්සේරු කරන්නේ නැහැ. ඒ ගැන විවේචන කරන්නේ නැහැ. ඒත් වයිරසයේ ආරම්භ සම්බන්ධයේන අප බුද්ධි අංශ හෙළි කර ඇති කරුණු කාරණා පහසුවෙන් බැහැර කරන්න බැහැ. එහෙයින් ස්වාධීන විමර්ශන කණ්ඩායමක් විමර්ශනයක් පැවැත්වීම සුදුසු යැයි අප විශ්වාස කරනවා’ යැයි බයිඩන් පරිපාලනය වෙනුවෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී පෙන්වා දී තිබේ.

‘කොවිඩ් 19’ වයිරසය චීනයෙන් හිස ඔසවද්දී, ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළේ ට්‍රම්ප්ය. එම අවස්ථාවේ ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් ද පැවැතිණි. බයිඩන් පරිපාලනය යටතේ ද එම යුද්ධය අවසන් නොවන බව පෙනෙයි.

‘කොවිඩ් 19’ වයිරසය ගෝලීය ව්‍යාප්තියක් තෙක් දුර දිග යෑමට ගතවූයේ කෙටි කාලයකි. චීනයෙන් පිට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයා වාර්තා වූයේ තායිලන්තයෙනි. වයිරසයේ දරුණු ස්වභාවය ලොවට හෙලි කිරීම සහ වසංගත තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීම විය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් තීරණ නොගත් බවට චෝදනා එල්ල වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂව චීනයේ ආර්ථිකයට බලපෑමක් නොවන ආකාරයට තීන්දු තීරණ ගත් හෙයින්, වයිරසය ගෝලීය වසංගතයත් තෙක් දුරදිග ගියේ යැයි පළමුවෙන් චෝදනා කරන්න වූයේ ද ජනාධිපති ට්‍රම්ප්ය.

ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම ද සිදුවිය. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් ආධාර වහා අත්හිටුවූයේ ද මේ නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ට්‍රම්ප් අවධාරණය කරන්න විය. 

ඇමෙරිකාව ‘කොවිඩ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වෙද්දී, ජනපති ට්‍රම්ප්, ‘කොවිඩ් 19’ වයිරසය ‘චීන වයිරසය’ ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. ට්‍රම්ප් වයිරසය පිළිබඳ තැකීමක් නොකළේ එය චීනයෙන් ආ එකක් බව පෙන්වා දෙමිනි. ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ වයිරසයේ ආරම්භය සිදුවූයේ වූහාන් වයිරස රසායනාගාරයෙන් යැයි එල්ල කළ චෝදනා මුල්කොට ගනිමින්, චීනය සහ ඇමෙරිකාව අතර අර්බුදය තවත් උත්සන්න විය.

චීනය සහ ඔස්ටේලියාව අතර නව අර්බුදයක් නිර්මාණය විය. මැතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප් අකමැත්තෙන් වුවත් ධුරයෙන් සමුගත්තේය. නව ජනාධිපති ලෙස ධුරයට පත් වූයේ ජෝ බයිඩන්ය. ධුරයේ දිවුරුම් දුන් සැණින්, බයිඩන් කළේ ඇමෙරිකාව යළි ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් කිරීමය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS