සඳ අඟහරුගේ කොටසක් කීවැයි ට්‍රම්ප්ට උසුළු විසුළු



සඳ අඟහරු ග්‍රහලොවට අයත් කොටසක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් ජනපතිවරයා විහිළුවට ලක්වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ නාසා ආයතනයේ ඉදිරි ගගන මෙහෙයුම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේය.

‘නාසා ආයතනය වෙනුවෙන් ලොකු මුදලක් අප වැය කරනවා. යළි සඳට යන්න නාසා සූදානම්. ඒත් වසර 50 කට කලින් අපි ඒක කළා. දැන් අපි උනන්දු වෙන්න ඕනෑ අඟහරු වෙත යන්නයි. සඳ කියන්නේ අඟහරුගේ කොටසක් බව ඇත්ත.’ යැයි ට්‍රම්ප්ගේ එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

අප ‘සඳ’ යනුවෙන් හඳුන්වන්නේ පෘථිවියට අයත් එකම ස්වාභාවික චන්ද්‍රිකාවටය. එසේත් නැතිනම් පෘථිවියට අයත් චන්ද්‍රයාටය. අඟහරු ග්‍රහයාට චන්ද්‍රයන් දෙදෙනෙකි. පෝබෝස් සහ ඩිමෝස් යනු එම චන්ද්‍රයන් දෙදෙනාය.

ඇමෙරිකා ජනාධිපතිවරයාට අභ්‍යවකාශය පිළිබඳ දැනුමක් නැති බවත්,  පාසලේ උගන්වන සාමාන්‍ය විද්‍යා විෂයන් ගැන හෝ අවබෝධයක් නොමැති බවත් මෙම ට්විටර් පණිවුඩයෙන් පෙනී යන බව ඊට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS