විස හතු විශේෂයක් ඕස්ටේ‍්‍රලියාවේ



මාරක විස දිලීරයක් එසේත් නැතිනම් හතු විශේෂයක් පළමු වරට  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මේ දිලීරය කොතරම් විසදැයි කීවොත් එය ස්පර්ශවීමෙන් මරණය සිදුවෙයි. මේ මාරක විස හතු විශේෂය හැඳින්වෙන්නේ ‘පොයිසන් ෆයර් කොරල්’ යනුවෙනි. පෙනුමින් තැඹිලි මුසු රතු පැහැයක් ගන්නා මෙම හතු විශේෂය මුහුදේ දකින්න ලැබෙන කොරල් වැනිය. ‘පොයිසන් ෆයර් කොරල්’ යන නමින් හැඳින්වෙන්නේ එහෙයිනි. ශරීරගත වුණොත්, මොළයට හානි සිදු කරන අතර, බිහිසුණු මරණයක් අත්වෙයි.

සම හරහා අවශේෂණය වන එසේත් නැතිනම් උරාගන්නා, මෙතෙක් හඳුනාගෙන ඇති එකම හතු විශේෂය මෙයයි. මේ හතු වැරැුදීමකින් ආහාරයට ගතහොත් පළමුවෙන් වමනය, පාචනය, උණ ඇතිවෙයි. දෙවනුව සිරුර අප‍්‍රාණික වෙයි. කතා කිරීමේ හැකියාව නැතිවෙයි. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණ වෙද්දී, සිරුරේ ඉන්ද්‍රියයන් එකිනෙක අඩපණ වෙයි. ඒ අනුව වේදනාකාරී මරණයක් අත්වෙයි.  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය වුවත්, මේ විස හතු ජපානයටත් දකුණු කොරියාවටත් ආවේණිකය. මේ ගැන පැහැදිලි කරන්නේ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැට් බැරෙට්ය.

මේ විස හතු මෙන් රතු තැඹිලි වර්ණයෙන් යුත්, හතු විශේෂයක්  ඕස්ටේ‍්‍රලියාවේ දකින්න ලැබේ. ඒවා විස නොමැති අතර ආහාරයට ගැනීමත්, ඒවා ඇසුරින් ඔසු පැන් සකසා ගැනීමත් සිදුවෙයි. එහෙයින්, එම හතු යැයි සිතා ‘පොයිසන් ෆයර් කොරල්’ ආහාරයට ගත්  ඕස්ටේ‍්‍රලියානුවන් කිහිප දෙනකු මියගොස් ඇතැයි ද වාර්තා වේ. ‘පොයිසන් ෆයර් කොරල්’ හතු දකින්න ලැබී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ මුහුදට නුදුරිනි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS