ලෝකයට එන්නත් සපයනවා - මෝදි



ලෝකයට සැපයීම සඳහා ඉදිරියේදී දැනටත් වඩා එන්නත් නිෂ්පාදනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩාවෝස් ආර්ථික සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව ඉකුත් දා ආරම්භ වූ අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර වැඩසටහන් රැසක් ‘කොවිඩ්-19’ හේතුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි.

රට තුළ නිෂ්පාදනය කෙරෙන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත් ඉදිරියේදී අනෙක් රටවලට සපයන බව ද මෝදි එහිදි කීය.

අසල්වැසි රටවලට එන්නත් අපනයන කිරීම ඉන්දියාව ඉකුත් දා ආරම්භ කළ අතර ඉන් එන්නත් මාත්‍රා මිලියන ගණනක් අසල්වැසි රටවලට ලබාදෙන්නේ ප්‍රදාන හා ත්‍යාග වශයෙනි.

‘‘අපි අනගාතයේදී තව තවත් එන්නත් නිෂ්පාදනය කරනවා. වසංගතයට එරෙහිව සටන් වදින්න අනෙක් රටවලට එය විශාල සහයෝගයක් වේවි. අද වෙද්දි අපි රටවල් ගණනාවකට එන්නත් ආනයනය කරනවා. අපි අනෙක් රටවල පුරවැසියන්ගේ ජීවිත බව බේරගන්නවා’’ ඩාවෝස් ආර්ථික සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීවේය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS