ලතින් ඇමෙරිකාවේ කොරෝනා වැඩිවෙයි



චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ලතින් ඇමෙරිකානු රටවල් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලතින් ඇමෙරිකාවේ එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවේ රටවල් අතරින් වයිරසය දරුණු ලෙස පැතිරෙන්නේ බ්‍රසීලයේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සේම, සෞඛ්‍ය උපදෙස්වලට කන් නොදෙන වයිරසය අවතක්සෙරු කළ නායකයකු ලෙස බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ අප්‍රසාදයට ලක් වී සිටී.

පසුගිය පැය 24 ඇතුළත පමණක් බ්‍රසීලයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාව 888 කි. පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් සංඛ්‍යාව 20,000 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,91,579 ක් බවත්, මරණ සංඛ්‍යාව 19,000 ක් බවත් පැවැසෙයි.

ලතින් ඇමෙරිකා රටවලින් දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ පේරු රාජ්‍යයෙනි. පේරු රාජ්‍යයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 1,00,000 පසු කර ඇති අතර මරණ 3,000 පසු කර ඇත.

මෙක්සිකෝවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 54,000 කි. මරණ 5,666 ක් බව පැවැසෙයි. චිලී රාජ්‍යයෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 53,617 ක් හමුවී ඇති අතර මරණ 544 ක් වාර්තා වේ.
ගෝලීය වශයෙන් මේ වනවිට සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.96 ක් බව පැවැසෙයි. වයිරසය හේතුවෙන් ගෝලීය වශයෙන් මියගිය සංඛ්‍යාව 3,26,000 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මිලියන 1.7 කි.

සාඕ පාවුලෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS