මෝදිගේ ගුවන් යානයට අවසර ඉල්ලයි



කිරිගිස්තානයේ පැවැත්වීමට නියමිත ෂැංග්හායි සහයෝගිතා සමුළුවට යන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට පාකිස්තාන ගුවන් සීමාව පසුකර යන්න ඉඩ දෙන්නැයි ඉන්දීය රජය පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ෂැංග්හායි සහයෝගිතා සමුළුව පැවැත්වෙන්නේ ලබන 13 සහ 14 දෙදින කිර්ගිස්තානයේ බිෂ්කේක් නුවරය. කලාපීය රටවල් රැසක රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සහභාගී වෙති.

පසුගිය පෙබරවාරි 26 වැනිදා සිට පාකිස්තානය, ඉන්දියාවට ඔවුන්ගේ ගුවන් කලාපය තහනම් කර ඇත. ඒ, ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ දී ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාරයත්, ඉන්පසු ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානා පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගකය කරමින් පාකිස්තානයේ ස්ථාන කීපයකට පහර දීමේ සිදුවීමත් මුල්කොට ගනිමිනි.

පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය පොලිස් භටයන්ට පහර දුන්නේ ෂායිෂ් ඊ මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියයි. මෙම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේත්, එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය හිමිවෙනවා යැයි ඉන්දියාව චෝදනා කරයි.

ඉන්දීය හමුදාව කළ ගුවන් ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ගුවන් සීමාව වසා දමා පාකිස්තානයේ දකුණු දෙසින් පමණක්, ගුවන් මාර්ග දෙකකින් ඉන්දීය ගුවන් යානාවලට පාකිස්තානයට පිවිසීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

ගුවන් සීමා තහනම හේතුවෙන් පාකිස්තානය මඟ හැර කිරිගිස්තානයට යෑම දිගු ගුවන් ගමනකි. එහෙයින්, අගමැති මෝදිගේ ගුවන් යානයට පමණක් විශේෂයක් කරන්නැයි ඉන්දීය රජය පාකිස්තානයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය හෝ අගමැති ඉම්රාන් ඛාන් හෝ කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් සිදු කර නැත.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS