මියන්මාරයේ වැඩ වර්ජනයක්



මියන්මාර හමුදා පාලකයන්ට විරෝධය පළ කරමින්, එරට වැසියෝ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

නායිපායිදේව් අගනුවර, යැංගොන් නුවර ඇතුළු ප්‍රධාන නගර රැසක සියලු කටයුතු වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ විය. වෘත්තීය සංගම්, ගුරු සංගම්, විශ්ව විද්‍යාල සිසුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බව පැවැසෙයි.

වැඩ වර්ජනයට අමතරව, නායිපායිදේව් අගනුවර සහ යැංගොන් නුවර විරෝධතා රැලි නොකඩවා පැවැත්වෙයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව සහ පොලිසිය වෙඩි තබන බව ද පැවැසෙයි. මියන්මාර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, යැංගොන් නුවර යුද පිටියක ස්වරූපයක් ගත් බවය.

මියන්මාර හමුදාව එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින් හමුදා කුමන්ත්‍රණය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය. සූ කී ඇතුළු නායකයන්ට එරෙහිව මෙම සතියේ නඩු විභාගයක් ද පැවැත්වීමට නියමිතය. ඒ, මියන්මාර මහ මැතිවරණය සම්බන්ධයෙනි. හමුදාව චෝදනා කරන්නේ එම මැතිවරණය දූෂණ වංචාවලින් පිරුණු එකක් බවටය.

යැංගොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS