බෝයිං ගුවන් සමාගමේ ප්‍රධානියාට ට්‍රම්ප්ගෙන් ඇමතුමක්



ඉතියෝපියා ගුවන් සේවයට අයත් බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන්, තමන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධානියාට ඇමැතුමක් දුන් බවත්, බෝයිං ගුවන් යානා ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවට ඔහු තමන්ට සහතික වූ බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

බෝයිං යනු ලොව අංක එකේ ගුවන් යානා නිෂ්පාද සමාගමය. මෙය ඇමෙරිකන් සමාගමකි. ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ ‘ට්විටර්’ පණිවුඩයක් හරහාය. ජනපති ට්‍රම්ප් බෝයිං සමාගමේ ප්‍රධානී ඩෙනිස් මුයිලන්බර්ග්ට ඇමතුමක් ලබා දුන්නේ පෙරේදා (12) සවසය. ඒ වනවිට කඩා වැටුණු ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ඉතියෝපියා ගුවන් යානයේ පියසැරි දත්ත සටහන් කළු පෙට්ටිය සොයා ගැනීමට ඉතියෝපියානු බලධාරීහු සමත් වී සිටියහ.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව ඉන්පසු බෝයිං සමාගම ද නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම ගුවන් යානාවල කිසිදු දෝෂයක් නොමැති බවත්, ආරක්ෂාව ගැන තමන් තහවුරු වන බවත්ය. ඉතියෝපියා මගී යානයේ අනතුරින් පසු ඉතියෝපියාව, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සේවාවලට එක් කර ඇති ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කර දිගටම පරීක්ෂණවලට යොමු කර ඇත.

ඇමෙරිකා ගුවන් සමාගම් සියල්ල ‘බෝයිං 737 මැක්ස්’ යානා භාවිතයට ගන්නා අතර, එම ගුවන් සමාගම් පවසා ඇත්තේ තමන් ‘බෝයිං 737 මැක්ස්’ යානා භාවිතය නවත්වන්නේ නැති බවය.

‘බෝයිං 737 මැක්ස් 8’ ගුවන් යානයක දිග මීටර් 39.52 කි. පියාපත් අතරේ පළල මීටර් 25.9 කි. ආසන 2010 ක් ඇති බව ද පැවැසෙයි. මෙම යානා නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ 2017 දීය. කඩා වැටුණු ඉතියෝපියානු ‘බෝයිං 737 මැක්ස්’ යානය ඉතියෝපියානු ගුවන් සමාගම මිලදී ගෙන ඇත්තේ පසුගිය 2018 දීය. පසුගිය වසරේ ඉන්දියාවට අයත් ලයන් එයාර් ගුවන් සමාගමේ යානයක් මූදට කඩා වැටී 189 ක් ජීවිතක්ෂයට පත් වූහ. එම යානය ද ‘බෝයිං 737 මැක්ස් 8’ යානයකි.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස් 8’ යානය කඩා වැටෙද්දී එය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි තෙක් පියාසර කරමින් තිබුණි. යානය කඩා වැටුණේ ගුවන්ගත වී මිනිත්තු 6 ක් යද්දීය. යානයේ සිටි 157 දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS