බැස්ටීල් දින සැමරුම



බැස්ටීල් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ද සමඟ ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි අවස්ථාවේදී, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් සහ බිරිඳ බ්‍රිජෙත්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මැක්රොන් සහ බිරිඳ විසින් ට්‍රම්ප් යුවල පිළිගනු ලැබුවේ පැරිස් නුවර ලෙ ඉන්වැලිදේහිදීය. ට්‍රම්ප් හමුවීමට පෙර, හිටපු මෝස්තර නිරූපිකාවක ලෙස රැකියාව කළ මෙලිනියා වසර ගණනාවක් ප්‍රංශයේ ජීවත් වී ඇත. ඇයට ප්‍රංශ භාෂාව ද හොඳින් පුළුවනි යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රංශ ජනපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත්, ට්‍රම්ප් යුවල පිළිගත්තේ ප්‍රංශ ක්‍රමයට කම්මුල් සිප ගැනීමෙනි. මෙලානියා, ප්‍රංශ ජනපති සහ බ්‍රිජෙත් සමඟ ප්‍රංශ බසින් කතා කළාය. ජනපති ට්‍රම්ප් කතා කළේ ඉංග්‍රීසි බසිනි.

‘ඔයා හරි ලස්සනට ඉන්නවානේ’ යැයි ජනපති ට්‍රම්ප්, බ්‍රිජෙත්ගේ අත් අල්ලා ගනිමින් පැවැසීය. ඒ, මෙලානියා සහ ප්‍රංශ ජනපති මැක්රොන් ඉදිරිපිටය. මැක්රොන් 39 හැවිරිදි වියෙහි පසුවන අතර, බිරිය බ්‍රිජෙත්ගේ වයස අවුරුදු 64 කි. ජනපති ට්‍රම්ප් මේ අයුරින් බ්‍රිජෙත් ත්‍රොග්නෝව් වර්ණනා කිරීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනා අතරේ කුසුකුසුවක් නිර්මාණය වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 71 හැවිරිදි වියෙහි පසුවන අතර මෙලානියාගේ වයස අවුරුදු 41 ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ට්‍රම්ප් සහ මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ට්‍රම්ප් සහ ප්‍රංශ ආරක්ෂක ප්‍රධානීන් අතරේ ද හමුවක් පැවැත්විණි. එහිදී බැස්ටීල් දින හමුදා පෙරහුරුව සම්බන්ධයෙන් පමණක් නොව, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. මේ අතර මෙලානියා සහ බ්‍රිජෙත් පැරිස් නුවර සුප්‍රසිද්ධ නොත්‍රදාම් දෙව්මැදුරේ සංචාරයක නියැලුණාහ.

ට්‍රම්ප් සහ මෙලානියා වෙනුවෙන් ප්‍රංශ ජනපති මැක්රොන් සහ බ්‍රිජෙත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඒ, පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුනේ ඉහළ පිහිටි යූල්ස් වර්න් අවන්හලේය. බැස්ටීල් දින සැමරුම නිමිත්තෙන් හමුදා පෙළපාළිය පැවැත්වූයේ ෂොම්ස් ද ලීසේ ස්මාරකය අබියසය. ප්‍රංශ හමුදාවේ අභිමානය සනිටුහන් කිරීමට මෙවර ද හැකි විය. බැස්ටිල් දිනය දා පැරිස් අගනුවර ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS