බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් බැණුම් අහලා



බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගිය දා එල්.බී.එස්. ගුවන් විදුලිය සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එහිදී, එක් අසන්නියක් අගමැතිවරයා සමඟ සජීවීව සම්බන්ධ වී ඔහුට දොස් නගන්න වූවාය.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන 12 වැනිදා පැවැත්වෙයි. බ්‍රිතාන්‍යය යළි මැතිවරණයකට යන්නේ අගමැති ජොන්සන්ගේ තීරණයකට අනුවය. ඊට හේතුව බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවිනි.

මීට වසර ගණනාවකට පෙර 1995 දී, පියවරුන් නොමැතිව දරුවන් ලොකු මහත්කරන මවුවරුන් විවේචනය කිරීමට ජොන්සන් කටයුතු කර ඇත. ඒ, පුවත්පත් ලිපියකිනි. පියකු නැති දරුවන් අවජාතක දරුවන් බවත්, කාන්තාවන් දරුවන්ට පිය සෙනෙහස ලබා දීම කළ යුතු බවත් එම පුවත්පත් ලිපියෙන් ජොන්සන් පවසා තිබුණි.

රූත් යන නමින් තමන් හඳුන්වා දුන් අසන්නිය, ගුවන් විදුලි වැඩසටහනට එක් වෙමින් අගමැතිවරයාට දොස් කීවේ එම පුවත්පත් ලිපිය මුල්කොට ගනිමිනි.

ජොන්සන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු නිදහස් ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරන සෙල්ලක්කාර තැනැත්තකු බව ද පැවැසෙයි. 55 හැවිරිදි වියෙහි පසුවන ජොන්සන් දෙවරක් විවාහ වී දික්කසාද වූ අයෙකි. එම බිරින්දෑවරුන් දෙදෙනා සහ ජොන්සන්ට සිටින දරුවන් ගණන 4 කි. අද වනවිට ජොන්සන්ගේ පෙම්වතිය සහ සහකාරිය වන්නේ කැරී සිමොන්ස් නමැති යුවතියයි. ජොන්සන් කාන්තාවන් රැසක් ඇසුරු කළ අයකු බව ද පැවැසෙයි.

තනිකඩ මවුවරුන් විවේචනය කිරීම සම්බන්ධයෙන් දොස් නගමින් රූත් නමැති එම අසන්නිය, අගමැති ජොන්සන්ගෙන් පැනයක් ද ඇසුවාය. ‘අගමැතිතුමා ඔබට ඇත්තටම දරුවෝ කී දෙනෙක් ඉන්නවාද ?’ රූත් ඇසූ පැනයට අගමැති ජොන්සන්ට පිළිතුරක් දීමට නොහැකි විය. ගුවන් විදුලි නාලිකාවේ නිවේදකයන් මැදිහත් වී අගමැති ජොන්සන් ඒ අසීරු අවස්ථාවෙන් මුදා ගත් බව බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS